ඔටිසම් හඳුනා ගැනීම පහසුයි එහෙත් ප්‍රතිකාර කළ යුතුයි

අමල් උඩවත්ත

 

 

 

 

 

 

මෙලොව උපදින දරුවෝ සියල්ලෝම යහපත් මානසිකත්වයෙන් යුතුව උපදින්නෝ නොවෙති. ඔව්හු විවිධ මානසික මට්ටම් වලින් පසුවන්නෝ වෙති. එයට හේතුව එම ළදරුවන්ගේ උපතින්ම මොළයේ සිදුවී ඇති අසාමාන්‍ය වර්ධනයකි. මෙය ලෝකයේ වැඩිවන ප්‍රවනතාවක් දක්වන තත්ත්වයක් ලෙසට හඳුනාගෙන ඇත. ඔටිසම් (Autism) යනුවෙන් හැඳින්වෙන මෙම අසාමාන්‍ය තත්ත්වයේදී හෙවත් ඔටිසම් රෝගී තත්ත්වයේදී කැපී පෙනෙන පොදු ලක්ෂණය වන්නේ අවට සමාජය සමග කෙරන අන්‍යෝන්‍ය සන්නිවේදනයේ දුර්වලතාවයි.එහෙත් සමහර දරුවන්ගේ බුද්ධි ඵලය ඉතා ඉහළ අගයක් ගනී. සමහරවිට ඔවුන් ඉතාමත් චතුර ලෙස වචන හැසිරවීමේ හැකියාවක්ද පෙන්නුම් කරයි. එසේ වුවත් ඔවුන් ඔවුන්ටම වන්වූ ලොවක ජීවත් වීමට ප්‍රිය කරයි. තමා සමග සන්නිවේදනය කරන්නන් සමග සංවේදිතාවක් නොදක්වයි. වර්ෂ 1943 දී ලියෝ කැනර් නම් වෛද්‍ය විද්‍යාඥයාවිසින් කුඩා දරුවන්ගේ අසාමාන්‍ය හැසිරිම් රටා පිළිබඳව කරන ලද සෙවීම් තුළින් හඳුනාගත් මෙම රෝගීතත්ත්වය Pervasive Developmental Disorders හෙවත් ඔටිසම් යනූවෙන් නම් කරනලදී.
සොයාගෙන තිබෙන අන්දමට ලොව පුරා වෙසෙන දරුවන්ගෙන් සියයට 1 (1%) ඔටිසම් තත්ත්වයෙන් පසුවෙයි. ඒ අනුව ශ්‍රී ලාංකික තත්ත්වය පිළිබඳව විමසිමේදී පැහැදිලිවන්නේ වාර්ෂිකව ඔටිසම් තත්ත්වයේ දරුවන් 3750 ත් 4000 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගන්නා බවය. මෙම තත්ත්වය සෑම තරාතිරමකම දරුවෙකුට ඇතිවිය හැකිය. එහෙත් පිරිමි දරුවන්ට ඔටිසම් තත්ත්වය ඇතිවීමට තිබෙන අවකාශය සාමාන්‍ය රෝගයකට වඩා වැඩිය.පිරිමි දරුවන් සහ ගැහැනු දරුවන් අතර 4:1 අනුපාතයක් ලෙස පවතින බැව් පර්යේෂණ දත්ත වලින් පැහැදිලිවෙයි. වසර 2013 වනවිට කරනලද සමීක්ෂණ වලට අනුව ලෝකයේ ඔටිසම් තත්ත්වයේ පුද්ගලයින් මිලියන 21.7 ක් සිටින බැව් අනාවරණය වීඇත.
ශ්‍රී ලංකාවේ පවතින ඔටිසම් රෝගය පිළිබඳව කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය —
ඔටිසම් ගැන අපි වසර ගණනාවක් තිස්සේ කතා කරනවා. එහෙත් අභියෝග ජය ගන්න තවම ලැබිල නැහැ. එහෙනම් මොකක්ද මේ ඔටිසම් කියන්නේ කියල සොයා බැලිය යුතුයි. අපි දන්නවා ළමයෙක් කුඩා අවදියේදී නැත්නම් ළදරු අවදියේදී ඔවුන්ගේ මොළේ ස්නායු වල සීඝ්‍ර වර්ධනයක් සිදුවෙනවා. සිදුවන ස්නායු වර්ධනයේ වෙනස්කම් ඇතිවූවිට තමයි ඔටිසම් තත්ත්වය ඇතුවෙන්නේ. සාමාන්‍යයෙන් ළදරු මොළයක් නිරෝගීව වර්ධනය වනවිට යහපත් ලක්ෂණ දකින්නට ලැබෙනවා වගේම, අසාමාන්‍ය ලෙස වර්ධනය වනවිටත් ඊට අදාළ ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙහිදී බුද්ධි වර්ධනය, ක්‍රියා කාරිත්වයේ ස්වභාවය,අධ්‍යාපනය ලැබීම, සමාජශීලී බව යනාදී මේ හැම දෙයකම කිසියම් අපහසුතා මතු වුවොත් ඔවුන්ට ඒ හා ගැටළු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවෙනවා ඔටිසම් තත්ත්වය ඔවුන් සමාජ සම්බන්ධතාව දක්වන ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්.
සමාජ සම්බන්ධතා දක්වන ආකාරයෙන් මවකට දරුවා ඔටිසම් තත්ත්වයේ පසුවන වාද නැද්ද යන්න පහසුවෙන් හඳුනා ගැකීමට හැකියාව තිබෙනවා. මෙහිදී මව දරුවාට කිරි දෙනවිට දරුවා සමග සිනාසෙනවිට මුහුනට මුහුණ බලා සිටින විට ඊට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඔටිසම් තත්ත්වය හඳුනා ගන්න හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් මව ළදරුවා සමග සිනාසෙනවිට දරුවා සිනහ නොවී මුහුණ බලා සිටීනම් හෝ අහක බලා සිටීනම් එතනදී කිසියම් ගැටළුවක් තිබෙන බැව් පෙනී යනවා. සෙල්ලම් කරනවිට එකම ආකාරයක් පමණක් අනුගමණය කරනවානම් එතනදීත් කිසියම් ගැටළුවක් තිබෙන බව තේරුම් ගන්න පුළුවන්.
ඔටිසම් සහිත සමහර දරුවන්ට වෙනත් රෝගාබාධ ඇතිවිය හැකියි.ඔටිසම්ම් සහිත දරුවන්ගෙන් සියයට 40 (40%) ක පමණ වලිප්පුව හට ගැනීමේ අවදානමක් තියෙනවා.මෙම තත්ත්වය වඩාත්ම දක්නට ලැබෙන්නේ බුද්ධිමය දුර්වලතා තියෙන දරුවන්ටයි.ඒ වගේම ඔටිස,ම් දරුවන්ගෙන් සියයට10 ත් 15 ත් (10%- 15%) අතර ප්‍රමාණයකට ජාන මගින් හෝ ආරයෙන් හටගත් කායික රෝගාබාධ දක්නට ලැබෙනවා ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකුගේ සහොදර සහෝදරියන්ට මෙම තත්ත්වය ඇතිවීම සමාන්‍ය දරුවන්ට වඩා 50 ගුණයකින් වැඩි තත්වයක් පවතිනවා. එනිසා ඔටිසම් තත්ත්වයෙන් පසුවන් දරුවෙක් සිටින විට ඊලඟ දරුවාට එම තත්ත්වය ඇතිවීමේ වැඩි අවධානමක් පවතිනවා ඒ නිසා වෛද්‍ය වරයකු සමග සාකච්චාකර තීරණ ගැනීම අත්‍යාවශ්‍යයයි යනුවෙන් පැවසුවාය.

අප්‍රියෙල් මස 26 වන දින ලෝක ඔටිසම් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති දේශන ඇසුරෙන් සකස් කෙරිණි.

%d bloggers like this: