කම්කරු දිනය ජාතික දිනය ලෙස සැළකෙන ඊශ්‍රායලය

නයෝමි සිරිනාලි නවරත්න – ඊශ්‍රායලයේ නතානියා නගරයේ සිට
ලොව පුරා වැඩ කරන ජනතාවගේ දිනය හෙවත් ලෝක කම්කරු දිනය ලෙසින් වෙන්කර ඇත්තේ මැයි මස පළමුවන දිනයි. විවිධ රටවල් විවිධ අයුරින් මෙම දිනය සමරන අතර ශ්‍රී ලංකාවේ නම් කම්කරුවා හැරෙන්නට අන් සියල්ලෝම (විශේෂයෙන් ම දේශපාලනඥයෝ) එය තමන්ගේ දිනයක් කරගනිමින් ද දේශපාලනමය වශයෙන් ශක්තිමත් බව පෙන්වීමේ අවස්ථාවක් කර ගනිති. වැඩකරන ජනතාවගේ දිනයක එය සැමරීමට ගොස් අකාලයේ අහිමි වූ ජීවිත දෙකක් පිළිබඳ අසන්නට ලැබීමෙන් කම්පා වූ මා හට මම දැනට වෙසෙන ඊශ්‍රායල් දේශයේ මැයි දින සැමරුම පිළිබඳ සටහනක් තබන්නට සිත් විය.
ශුද්ධ වූ දේශය, යුදෙව් දේශය යන නමින් හදුන්වන ඊශ්‍රායල් දේශයේ නිදහස් සැමරුම යෙදෙන්නේ සෑම වසරකම මැයි පළමු වන දිනටයි. මෙවර ඔවුන් සැමරුවේ දේශයේ 69 වන අභිමානවත් නිදහසයි. ජුදා ජාතිකයන් වශයෙන් ගෑස් කුටීරවල ඉතා කුරිරු වද බන්ධනයන්ට ලක්වී ඉක්බිති දරුණු යුද්ධයකින් පසුව ගල් සහ වැලි කඳුවලින් පිරුණ මේ බිම ඔවුහු අත්පත් කරගත්හ. එය ඊශ්‍රායලය නම් විය.

ලොව පුරා විසිර සිටි විවිධාකාරයෙන් සංහාරයට ලක්වූ යුදෙව්වන්ගෙන් පණ බේරාගත් පිරිස තම දුක්බර අතීතය ද සිහිගන්වමින් ආගමික භක්තියෙන් යුතුව මෙම නිදහස සමරති. යුදෙව් ජාතිකයෝ ලොව ඉතාමත් බුද්ධීමත් ජාතියක් වශයෙන් සලකති‍. විවිධ වූ භාෂා කතා කිරීමේ හැකියාව ඔවුන් සතුව පවති. ඊශ්‍රායලයේ ප්‍රධාන භාෂාව හීබෘ වුවද මෙහි: ඉංග්‍රීසි, අරාබි, ප්‍රංශ
යනාදි භාෂා භාවිතයේ පවතී. ව්‍යවහාර මුදල් ඒකකය “නිව් ඊශ්‍රායල් ෂෙකල්”ය. ලෝකයේ දියුණු රටවල විවිධ ක්ෂේත්‍රවල ඉහළ පුටු හෙබවීමට යුදෙව්වෝ සමත් වෙති. රජය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමෙහි ලා සුවිසල් වැඩකොටසක් ක්‍රියාත්මක කරයි.

සියලු දෙනාම යුදෙව් ආගම අදහන අතර, උග්‍ර ආගම්වාදී පිරිස “දැතීයන්” ලෙස හඳුන්වති. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ තම ජාතිය වෙනුවෙන් උදේ සවස පල්ලියට ගොස් යාඥාකිරීමය. රජය විසින් ඔවුන්ට ඒ සඳහා විශේෂ වරප්‍රසාද සහ ආධාර පිරිනමනු ලැබේ. උපත් පාලනයෙන් තොර දිවියක් ගත කරන යුදෙව් දේශයේ දැතීයන්ගේ පවුල්වල සමාන්‍යයෙන් දරුවෝ දහයක්  හෝ දොළහක් හෝ  සිටිති. සාමාන්‍ය පවුලකද අවම වශයෙන් දරුවෝ සිවු දෙනෙකු හෝ සිටිති. එම දරුවවන්  සඳහා ඊශ්‍රායල්  රජය පූර්ණ අනුග්‍රහය දක්වයි. යුදෙව්වන් වෙනත් ජාතිකයන් සහ වෙනත්  ආගමිකයන් සමඟ විවාහ නොවෙයි. විවාහ වන්නේ නම් විවාහවන පිටස්තර ජාතිකයා හෝ ආගමිකයා අනිවාර්යයෙන් ම යුදෙව් ආගම වැළඳගත යුතු වෙයි.
ඊශ්‍රායලයේ ජාතික ගීය ලියවෙන්නේ 1878 යුරෝපයේදී ය. එහි රචකයා වන්නේ නතාලි හරස් ඉම්බෙලි ය. එවිට ඊශ්‍රායලය නම් රටක් ලොව බිහිව නොතිබිණි. ගීතයෙන් කියවෙන මුඛ්‍ය අදහස වන්නේ, සියෝනයේ හෙවත් සියෝනිකාවේ හෙවත්  වර්තමාන ඊශ්‍රායල යේ ජිවත් වීමට යුදෙව් ආත්ම ඉතාමත් ආශාවෙන් දෑස් දල්වාගෙන බලාපොරොත්තුවෙන් සිටිනවා යන්නය. කෙසේ වෙතත් වසර 2000 ක එපිට පැවති ඔවුන්ගේ බලාපොරොත්තුව අද ඉටු වි තිබේ. අද ඔවුහු නිදහස් ජාතියක් ලෙස ජීවත් වෙති.

ඊශ්‍රායල් ජාතිකයන් ඔවුන්ගේ නිදහස් දිනට දින දෙකකට පෙර තම ජාතිය වෙනුවෙන් දිවි පිදූ ඥාතීන්ව සිහිපත් කිරීම සඳහා දිනකට කිහිප වතාවක් මුළු රට පුරාම එකම වේලාවක විශේෂ නළාවක් ශබ්ද කිරීමට සලස්වා ඇත. අතිශය වේදනාබර හදවත රිදුම් දෙන නාදයක් වූ එය මට දැනුනේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව මිය යාමට ආසන්න පුද්ගලයන්ගේ අ‍ඳෝනාවක් ලෙසිනි. එම ශබ්දය මුළු යුදෙව් දේශයේ අහස පුරා ගිගුම් දෙමින් හැඬවෙන අතර ඔවුන්ගේ ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා තුළත් එම මොහොතේ මෙම නාදය විකාශණය කරවයි. එම අවස්ථාවේ  ඔවුන් කවර  තැනක ,කවර හෝ රාජකාරියක යෙදි සිටිය ද මොවුන් තම අසුන්වලින් නැගිට මියගියවුන් සිහිපත් කිරීම හද කම්පාකරවන දසුනකි. අධිවේගී මාර්ගවල කහ ඉරි මත වාහන හිටිවනම නතර කරමින් ඔවුන් වාහනවලින් බැස මහපොළවේ පය තබා හිටගනිමින් එම වේදනාබර හඩත් සමඟ තම නිහඬතාව සුරකීම දකින්න ලැබීම ඉතාමත් අනුවේදනිය දසුනකි. මැයි පළමුවන දින දවස පුරා පල්ලියේ විශේෂ දේව මෙහෙය පවත්වන අතර එදින පූර්ණ නිවාඩු දිනයක් නොවේ. ප්‍රධාන නිදහස් උත්සවය ජෙරුසලම් නගරයේ පැවැත්වෙන අතර ප්‍රාදේශීය නගරවල උත්සව සංවිධානය කෙරේ. සන්ධ්‍යාවේ එම ස්නථානවල නොමිලේ ආහාර පාන ආදියද ලබා දෙන අතර රාත්‍රි කාලයේදී සංගීත සංදර්ශන මල් වෙඩ් සංදර්ශන ආදියෙන් උත්සවය අලංකාරවත් වන්නේ ය. අහස උසට නැගි විසල් නිවාස ගොඩනැගිලිවලින් සිය දූ පුතුන් සමඟ බිමට බට ජනතාව නිදහසේ සුමිහිර විඳිනු දැකීම ඉතාමත්ම ආදරණීය දසුනකි; සෞම්‍ය දසුනකි. ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ දෑත් පටලා තම නිදහස බුක්ති විදිති. පසු දින සියල්ලෝම තම පවුලේ ඥාතීන් සමඟ එක්ව කා බී සතුටු වෙති. රජය විසින් එදින නිවාඩු දිනයක් ලෙස අනුමත කරනු ලැබ ඇත. එකම ආගමක් අදහන විවිධ රටවලට ජන්ම අක්මුල් දිවූවද එකම ජාතියක් වූ යුදෙව්වෝ කිසිම දේශපාලන අරමුණකින් තොරව තම ජාතික නිදහස සමරන්නේ මෙලෙසිනි.

අද දවසේ ලංකාවේ සමරන ජාතික නිදහස් දිනයත්, කම්කරු දිනයත් පිළිබඳ නැවතත් සිතා බැලීමට මේ ලොව දියුණුම ජාතියෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝ යැයි මට සිතේ. එහෙත් කවදා එසේ වේදැයි අනුමාන කරන්නට හෝ නොහැකි ය.

 

%d bloggers like this: