ගල් ලෙන් වලින් පිරි සුන්දර පරිසර පද්ධතිය පිළිකුත්තුව

අමල් උඩවත්ත–

ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයට අනුවත් බෞද්ධ සංස්කෘතියට අනුවත්, පුරා විද්‍යාත්මක මෙන්ම පාරිසරික වශයෙන් වටිනා  වඩාත් ගෞරවයෙන් පිදිය යුතු ස්ථාන අතර  ප්‍රමුඛ ස්ථානයක් ලෙස පිළිකුත්තුව හැඳින් විය හැක.  පරිපාලනමය  වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයටද  අයත් පිළිකුත්තුව භූමි ප්‍රදේශයේ විශාලත්වය අක්කර 48 ක් පමණ වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 450 ක් පමණ උසින් පිහිටි මෙම භූමිය සිංහලේ මුල්ම ජනාවාස පැවති ප්‍රදේශයකි.  මෙම ප්‍රදේශයේ තිබෙන පැරණි නිවාස ප්‍රදේශයේ  වෙනත් නිවාස වලට වඩා වෙනස් වූ ආකාරයක් ගනී. නිවසේ වියන ගෙය හෙවත් කුස්සිය නිවසට මදක් ඈතින් වෙන්ව  පිහිටා තිබේ.   එයද පිරිසුදුවට  හා පිළිවෙලට සකස් වූවකි. කෘෂිකර්මාන්තයෙන් ජීවත් පොල් අතු සෙවිළි කළ වහලය සහිත නිවාස වල  බිත්ති වරිච්චි මැටි සහිත වන අතර පිළි සාලය සහ කාමරයක් වැනි ආවරණයවූ කොටසක් ද වේ. නිවාස වල ස්තීර දොරක් නැතත්  තාවකාලිකව අටවා ගත් පොල් අතු පැළැල්ලක්  දොර වෙනුවට භාවිත කරයි. වන මෙම ජනතාව  පැරණි විශ්වාස සහ ඇදහිලි අගය කරයි. 

       මෙහි තිබෙන ගල්ලෙන් වලින් ශ්‍රී ලංකාවේ අතීත මානවයන් විසූ බවට සාක්ෂි පෙන්වා දෙන අතර පසු කලෙක මෙම ගල්ලෙන් ආරන්‍ය වාසී භික්ෂූන් වහන් සේලාගේ නිවහන් බවට පත්විය.  බැව් එම ගල් ලෙන් වල කොටා තිබෙන කටාරම් වලින් පැහැදිලි වෙයි. මෙහි තිබෙන කටාරම් කෙටූ සහ කටාරම් නොකෙටූ ගල්ලෙන් ප්‍රමාණය 100 ක් පමණ වෙයි. මෙයින් ශිලා ලිපියක් සහිත එක ලෙනක් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙසට නම් කර ඇත. වර්තමානයේ මෙහි තිබෙන ආවාස ගෙවල් තුනක භික්ෂූන් වහන්සේලා වසය කරති. මෙහි තිබෙන එක ලෙන් ආවාසයක් ඕලන්ද යුගයට අයත්ය.  මෙයින් ආවාස ගෙවල් දෙකක්  මහනුවර යුගයට අයත්ය.  තවද වසර 1,500 ක් තරම් පැරණි යයි කාල නිර්ණය කළ මැටියෙන් කළ  ලෙන් චෛත්‍යයක්ද වෙයි. මෙම විහාරයේ තිබෙන බිතු සිතුවම් මහනුවර යුගයට අයත්ය.  මෙම සෑම චිත්‍රයක්ම ප්‍රකාශිත  චිත්‍ර වීමද විශේෂත්වයකි.

 

 

 

 

 

මහනුවර  යුගයට අයත් යයි සැළකෙන  දැව පාලම, පිළිකුත්තුව විහාර භූමිය හරහා තිබෙන පැරණි උමං ජල මාර්ගයේ පිහිටි  පොකුණ හා වැවට සම්බඳ වන කොටසේ ඉඳිකර ඇත.

පැරනි චිත්‍ර

ඉතිහාසය

මෙම භූමියට පිළිකුත්තුව යන නම ලැබීම  පිළිබඳව විමසීමේදී  මෙම විහාර භූමිය වළගම්භා රාජ සමයට අයත්වන බැව් පෙනී යයි.  එනම් ක්‍රිස්තු පූර්ව 103 දී අනුරාධපුරයේ රජ බවට පත් සිංහලේ 20 වැනි රජතුමා වන වළගම්භා රජුගේ රාජාභිෂේකයෙන්  මාස 5 ගතවුණු තැන මෙරට  සිදුවූ සොළී ආක්‍රමණය නිසා අනුරාධ පුරයෙන් පළාවිත්  මෙම ප්‍රදේශයේ සැඟවී සිටි බැව්  ජනප්‍රවාදයේ පවතී.  ඉන්පසු ක්‍රිස්තු පූර 88 දී  වළගම්භා රජු නැවත අනුරාධ පුරයේ රජකම ලබාගැනීම සඳහා මූලික යුධ කටයුතු සංවිධානය කළේ  මෙම භූමියේ  බැව් ද ජන ප්‍රවාදයේ පවතී. මෙම කාල සීමාවේදී රජතුමාගේ රෙදි පිළි සැඟවූ ස්ථානය පිළිකුත්තුව වීය යන්නද ජන ප්‍රවාදයේ පැවතෙන්නකි. මෙම කාල සීමාවේදී රජතුමාට රෙදි පිළි සැපයූ  බිම  පිළිකුත්තුව වීය යන්නද තවත්  ජන ප්‍රවාදයක  පැවත එන්නකි. මෙම තොරතුරු තව දුරටත්  පැහැදිලි කරන ඓතිහාසික  ගම්මාන 6 ක් පිළිකුත්තුව වටා පිහිටා ඇත. මෙම ගම්මාන වලට තිබෙන නම් වලින් ද මෙම ඓතිහාසික බව පෙන්වා දෙයි. යුධ භටයන්ට බත් දුන්  ප්‍රදේශය බුත්පිටිය ලෙසටද ,දළදා වහන්සේ පිදීම සඳහා මල් ගත් ප්‍රදේශය මල්වතු හිරිපිටිය යනුවෙන්දදළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා සෑදූ රහස් කුටිය සඳහා පස් ගත් ප්‍රදේශය පස්ගම්මන යනුවෙන් ද  සහ දළදා මාළිගාව  ඉඳිකර දළදා වහන්සේ තැන්පත් කළ ප්‍රදේශය මාලිගාතැන්න   යන ගම්වල නම් වලින් ඒ බැව් පෙන්වා දෙයි.   

ශාක විවිධත්වය

ඉතා සරු ජෛව විවිධත්වයකින් පිරිපුන් පිළිකුත්තුව ආශ්‍රිත ප්‍රදේශය පහත රට තෙත් කලාපයට අයත් වෙයි.  භූමියේ සැම තැනම  ගල්තලා පිහිටා ඇත.  මේ සෑම ස්ථානයකම ඒ ඒ ස්ථානයට උචිත ශාක දර්ෂයක් තිබීම විශේෂත්වයකි.  ගම්පහ දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන ශාක දර්ෂ වලින් වැඩි කොටසක් පිළි කුත්තුව ස්වාභාවික වනරොදට අයත් වීමද විශේෂත්වයකි. මෙම භූමිය මෙරට දේශ ගුණික කාලාප කීපයක්  මෙහි නියෝජනය කරයි. වාර්ෂික වර්ෂා පතනය අඟල් 100 ක් පමණ වන අතර වාර්ෂික උෂ්ණත්වය සෙල් සියස් අංශක 27  ක් පමණ වෙයි.

එබැවින්  තෙත් කලාපීය දේශගුණයේ වැවෙන ශාක වන  වල්දෙල් (Artocarpua nobilis ), ඇටඹ (Mangifera zelanica) රුක් අත්තන (Alastonia schoolaris), දොඹ (Callophyllum inophyllum)ගල් කරඳ (Humbolditiya laurufolia)හොර (Dipterocarpus zelanicus), ගොඩ පර (Dilenia retusa), මිල්ල (Vitex pinata), නා (Messua nagasarium),  නුග (Ficus bengalansis), කිතුල් (Cariyota urens), ඉඳි (Phonix zelanicus), මාවේවැල් (Calamus rotang), බට (Ochlandra stridula), පුස් වැල් (Entada scandenus) යන ශාක මෙම ප්‍රදේශයේ  දක්නට ලැබේ.

මෙහි වියළි කලාපීය  දේශගුණ  සීමාවේ වාර්ෂික වර්ෂා පතනය මිලිමීටර් 1500 ක් හෙවත් අඟල් 75 ක් පමණ වන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 (310C) ක් පමණ වෙයි. මෙහි නිවර්තන මෝසම් වැසි වනාන්තර දර්ශ යට අයත් ශාඛ විශේෂ අතර  කළුවර (Diospyrus ebenum),  හල් මිල්ල (Berrya cordifolia),සියඹලා (Tamarindus indica), මිල්ල(Vitex altissima), කොලොං (Adina cordifolia), ගැඬුඹ (Trema orientalis) සහ හුළං හික්(chuckraasia tabularis) වැනි ශාක දක්නට ලැබේ.

මෙහි දක්නට ලැබෙන ශුෂ්ක කලාපීය දේශගුණයේ වාර්ෂික වර්ෂා පතනය මිලි මීටර් 50 කි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 32(32C0-35C0) අතර ප්‍රමාණයකි.  මෙම කලාප තත්වයේදී කටුපඳුරු, හා ලඳු කැලෑ  ශාක දර්ශ වන හීරැස්ස(Cicus quadrangularis), හණ (Corchorus capsularis), අක්කාපාන(Bryuophyllum Spp.) ,  හාතාවාරිය (Asparagas Spp) , පතොක් (Opuntia spp. ) , දළුක් (Euphorbia spp. ), සහ නවහන්දි() යන ශාක විශේෂ බහුලව දක්නට ලැබෙ

යෝධ පුස්වැල

 

මෙහි ආවාස ගෙයට  මදක් ඈතින් භූගත ජල මාර්ගයට විවෘතව තිබෙන කුඩා පොකුණේ ජලජ ශාක විශේෂ කීපයක් දක්නට ලැබේ. මෙම විශේෂ අතරට නිල් මානෙල් (Nymphea stellata), හයිඩ්‍රිල්ලා (Hydrilla Spp.), බුදුරැස්ස(Cabomba spp.)නිල්මොණරැස්ස(Utricularia Spp), දිය හබරල (monochoria vaginalis), වැලිස්නේරියා (Vallisnaria spiralis)කන්කුන් (Ipomoea aquatica) යන ශාක විශේෂ දක්නට ලැබේ.

මෙම ශාක අතරට  සිහිවටන ශාකයක් ලෙස පිළි ගැනෙන යෝධ පුස්වැල  සහ අනෙ පුස්වැල් (Entada scandenus), බිං කොහොඹ (Munronia pinnata), දිය සීරාව තිබෙන තැන්වල  තිබෙන තුනී පස් ස්ථරයේ වැවෙන  මාංශ භක්ෂක ශාකයක් වන කඳුලැස්ස (Drosera indica) ශාකයද විශේ ෂ තැනක් ගනී.

 

සත්ත්ව විශේෂ

සරු සත්ත්ව විවිධත්වයකට හිමිකම් කියන පිළිකුත්තුව වනබිමේ හමුවන ක්ෂීරපායී සත්ව විශේෂ අතර කොළ වඳුරා (Presbitis senex), රිලවා (Macaca sinica), උණ හපුළුවා (Loris tradigradus), හඳුන් දිවියා (Felis vevarina ),  යන ආවේනික සත්ව විශේෂ අතරට මීමින්නා (Tragulus meminna), ඉත්තෑවා (Hyatrix indica), හාවා (Lepus nigricolis), නරියා(Canis aureus),  ලේනා (Punambulus palmarum) යන ක්ෂීරපායී විශේෂද දක්නට ලැබේ.

පක්ෂි විශේෂ 75 ත් 80 ත් අතර ප්‍රමාණයක් වාර්තාවන පිළිකුත්තුවේ ගිරා මලිත්තා(Loriculus beryllinus), මල් කොට්ටෝරුවා(Megalaima rubricapila), වලි කුකුළා(Gallus laffayetii), ලංකා සැළ ලිහිණියා(Gracula ptilogengs) යන ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් හැරුණු කොට  පර්යටන පක්ෂීන් හෙවත් කලින් කලට පැමිණෙන පක්ෂීන් වන සුදු රෙදි හොරා(Terpsiphone paradisi paradidi), මහ කුරුමිණි කුරුල්ලා(Merops philippinus), දුඹුරු මැසි මාරා (Muscicapa dauurica), ඉන්දියානු නිල් සිටිබිච්චා(Erithacus brunneus),  දුඹුරු ඇහි පටියා (Lanius critatus cruatus),වැනි පක්ෂීන්ද, කොණ්ඩ රාජාලියා (Spizaetus cirrhatus),  සර්ප රාජාලියා (Spilornis cheela), පොදු සැළ ලිහිණියා (Gracula veligiosa), වැනි විශේෂිත පක්ෂීන්ද වෙයි.

උභය ජීවීන් සහ උරගයන් පිළිබන්දව විමසීමේදී  වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති. පිඹුරා (Phython molurus),  ඇතුලුව නයා(Naja naja), තිත්පොළඟා (Daboia punchera), පළා පොළඟා (Trimeresurus trigonocephala), කුනකටුවා (Hypnale hypnale),  ඇහැටුල්ලා(Ahetulla nasuta),  යන සර්ප විශේෂ වාර්ථා වන අතර  ජලාශ්‍රිත ප්‍රදේශ වලින් වාර්තා වන දේශීය මත්ස්‍ය විශේෂ  ගණන 20 කි.  ඉරි හඳයා(Aplocheillus werneri), කොළ කනයා(Channa orientalis), හොර දණ්ඩියා(Rasboroides atukorali ), මගුරා(Clarias brachysoma),  වැනි ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ හැරුණු කොට  වල පොත්තා(Ompok bimaculatus),  දන්කොළ පෙතියා(Puntius singhala), පුලුට්ටා (Belontia sibnata), ලූලා(Channa striata),  වැනි ආවේනික නොවුනත් මෙරට ජලාශ වලින් හමුවන මත්ස්‍ය විශේ රාශියක් ද පිළිකුත්තුව රක්ෂිතයෙන් හමුවෙයි.

මෙම භූමියෙන් සමුවන සමනල් විශේෂ ගණන 40 කි. මෙම විශේෂ වලින් ඉන්දු කාකයා (Common Indian crow),  රජ කාකයා (Brown king Crow),  නීල පළිඟු ගෝමරා(Blue Glassy Tiger) පළිඟු ගෝමරා(Glassy Tiger), සෙව්වන්දියා (Common Rose), නීල පරින්දයා(Common Mormon),හොලිසියා(Clipper) රබතලියා(Common Plamfly) යන මේ විශේෂ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි.

පරිසර හානිය

ග්‍රැනයිට් පාෂාණ වලින් යුත් කළු ගල්තලා බහුලව තිබෙන බැවින් කළුගල් කැඩීමේ ව්‍යාපරය සරුවට කෙරෙයි එබැවින් වටිනා ගල් ලෙන් සහිත ස්වාභාවික පරිසර පද්ධතිය ක්‍රමයෙන් විනාශවී යාමක් දක්නට ලැබේ.  කළුගල් කැඩීම සඳහා ගල්බොර දැමීමේදී නැගෙන ශබ්දය වන සතුන් බිය වැදී පළායාමට හේතුවක් වෙයි. අනවසර ගස් කැපීම් , වලින් සිදුවන පරිසර හානිය සුළුපටු නැත. අධ්‍යාපනික වශයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වශයෙන්ද ඉහළ වටිනා කමකින් පිරිපුන් පිළිකුත්තුව  පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම මෙම ප්‍රදේශයේ මතු ආරක්ෂාවට මහත් පිටිවහළක් වී තිබේ.

විශේෂ ස්තූතිය- පිළිකුත්තුව පුරාවිද්‍යා  සංවර්ධන නිළධාරී,

විද්‍යාපති පුජ්‍ය රදාවානේ සුමංගල හිමියන්ට

%d bloggers like this: