ගෝඨාභය රාජපක්ෂ: “මම ඇමරිකානු පුරවැසියෙක්”

විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳුදා (පෙබරවාරි 12) උදෑසන දිවයිනට පැමිණියේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට වාර්තා පළ වෙන අතරවාරයේ ඔහු විදේශ ගත වීම විශේෂ සිදුවීමක් විය.

ඔහුගේ නීතිවේදීන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබ තිබේ.

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක සමයේ විදේශගතව සිටි ඔහු, ඇමරිකා එක්සත් ජනපදයේ සිට යළි සිය රට පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.

“මහින්ද ජනාධිපතිතුමාගේ වැදගත්කම එදා රැවටුණු අයට තේරුනානේ,” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය පිළිබදව ගුවන්තොටුපොළෙහි සිට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේය.

තවත් කියවන්න:

2020 ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තරග කළ නොහැකි බැවින් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කර තිබුණි.

ඉදිරියේ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමට සුදානම් දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට හිටපු ඔහු ඊට පිළිතුරු දුන්නේ “තාම නැහැ” යනුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි විමසු විට ඔහු පැවසුවේ “බැහැනේ මම ඇමරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ,” යනුවෙනි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීමට නොහැකිය.

ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නේ නැහැ – බැසිල්

බීබීසීය මින් පෙර ද්විත්ව පුරවැසිභාවය හිමි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි විමසූ විට ඔහු පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය.

Be the first to comment on "ගෝඨාභය රාජපක්ෂ: “මම ඇමරිකානු පුරවැසියෙක්”"

Leave a Reply

%d bloggers like this: