ජනපති, අගමැති හමුවක් යළිත්

GETTY IMAGES

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව මතු වී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (පෙබරවාරි 15) සවස 6:30ට යළිත් වරක් මුණගැසීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

මැතිවරණයෙන් අනතුරුව නායකයන් දෙදෙනා මීට ඉහතදී කිහිප වතාවක්ම මුණගැසුණු අතර, පදවියෙන් ඉල්ලා අස් විය යුතු යයි ජනාධිපතිවරයා එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබේ.

එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීමට එකඟ වී නැත.

නායකයන් දෙදෙනා අතර ඉහත කී අලුත්ම හමුව පැවැත්වෙන්නේ, සිය පක්ෂයේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ දරමින් සිටින අතරවාරයේය.

එසේ පිහිටුවන ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සාහය වී තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 96ක් දිනාගත් අතර, එක්සත් ජාතික පක්ෂයට ආසන 107 ක් හිමිවිය.

කෙසේ වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකතත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරති.

මේ අතර කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකට කොන්දේසි විරහිතව සහාය දෙන බව සඳහන් කළේය.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ තවදුරටත් එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නම්, එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය.

බදාදා පැවති කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව බ්‍රහස්පතින්දා කොළඹ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිප එකමුතු ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙනයාමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.

අමාත්‍ය මහින්ද අමරවීර

සම කැබිනට් ප්‍රකාශකවරුන් වන ගයන්ත කරුණාතිලක හා රාජිත සේනාරත්න අමාත්‍යවරුන් එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වී සිටිය ද, ශ්‍රීලනිපය නියෝජනය කරන සම කැබිනට් ප්‍රකාශකයාවන දයාසිරි ජයසේකර එයට සහභාගි නොවීම ද විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය සේනාරත්න, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරන අතර කැබිනට් සංශෝධනයක් නුදුරේම සිදුවන බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු පැවසුවේ ඒ පිළිබඳව තවමත් එකඟතාවකට පැමිණ නැති බවකි.

බදාදා ජනපතිවරයා වෙත ලිපියක් යොමු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර පවසා තිබුණේ වත්මන් අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ රැදී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම පිළිබඳව තවදුරටත් සිය පක්ෂයට එකඟවිය නොහැකි බවය.

බීබීසී පුවත් ඇසුරෙණි

Be the first to comment on "ජනපති, අගමැති හමුවක් යළිත්"

Leave a Reply

%d bloggers like this: