දිගු ඉතිහාසයකට හිමිකම් කියන මින්නේරිය ජාතික වනෝද්‍යානය

මින්නේරිය ජලාශයේ නිදහසේ සැරිසරණ අලි ඇතුන්

 අමල් උඩවත්ත

  • ශ්‍රී ලංකාවේ ඉපැරණි සංස්කෘතියකට උරුම කම් කියන කෘෂිකාර්මික දියුණුවට ඉමහත් සේවයක් කළ  මහසෙන් රජු විසින්  ඉඳිකළ  මින්නේරිය ජලාශය ඉඳි කරන ලද බව ඉතිහාසය පෙන්වාදෙයි.  මින්නේරිය ජාතික වනෝද්‍යානය එම  ජලාශයේ ජලපෝෂක ප්‍රදේශය ලෙස එදත්  හා අදත් ඉමහත් සේවයක් ජාතික වශයෙන් ඉටුකරන්නේ  වන ජීවීන් රැසකට ආහාර සහ වාසස්ථාන සපයමිණි. වියළි කලාපයට අයත්ව උතුරු මැද පළාතේ පොළොන්නරුව දිත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රදේශීය ලේකම් කොඨාශයට අයත්ව පිහිටි මෙම ජාතික වනෝද්‍යානය වන සත්ත්ව හා තුරුලතා ආඥා පනත යටතේ වර්ෂ 1938 දී අභය භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලදී  ඉන් පසු විවිධ අවස්ථා වලදී වනාන්තරය එළි පෙහෙළි කිරීම නිසා සිදුවන විනාශ වැළැක්වා ගැනීමේ අරමුණින් වසර 1977 අගෝස්තු මස  12 වන දින  ජාතික වනෝද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත. ඉන්පසු එතැන් සිට  මෙහි පරිපාලනය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු කෙරේ.

භෞතික ලක්ෂණ

මින්නේරිය ජලාශය

උතුරු අක්ෂාංශ අංශක 7 කලා 58 විකලා 44 ක්  හා නැගෙනහිර  දේශාංශ අංශක 80   කලා 50 ත් අතර භූගෝලීය වශයෙන්  පිහිටා ඇති මින්නේරිය ජාතික වනෝද්‍යානය විශාලත් වයෙන්  හෙක්ටයාර 8,889.4 කි. වාර්ෂික වර්ෂා පතනය මිලි මීටර් 1500 ත් 2000 ත් අතර වෙයි. අවම උෂ්ණත්වය  සෙල්සියස් අංශක 20.6 ක් වන අතර උපරීම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.5 කි වසරේ  ඔක්තෝබර් සිට ජනවාරි මස දක්වාවූ මාස 4ක කාලයක් තුළ  ඊසාන දිග අන්තර් මෝසම් වැසි   වලින් පෝෂණය වන  මින්නේරිය ජාතික වනෝද්‍යානයට මැයි මස සිට සැප්තැම්බර් දක්වාවු  කාල සීමාවේ වියළි කාලය උදාවෙයි.

පිවිසුම් මාර්ග

කොළඹ සිට පැමිණෙන්නේනම්   කොළඹ ,කුරුණෑගල මාර්ගයේ  දඹුල්ලට පැමිණ දඹුල්ල හරහා  හබරන මංසන්ධියට පැමිණ එතැනින් දකුණට හැරී මොරගස් වැව  ඔස්සේ  මින්නේරිය ජාතික වනෝද්‍යානයට  පිවිසිය හැකිය.

මහනුවර සිට මාතලේට පැමිණ එතැනින්  නාලන්ද, නාඋල යන මංසන්ධි ඔස්සේ  දඹුල්ලට පැමිණ දඹුල්ල හරහා  හබරන මංසන්ධියට පැමිණ එතැනින්  දකුණට හැරී  මොරගස් වැව ඔස්සේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට  පිවිසිය හැකිය.

නුවර එළිය සිට පැමිණෙන්නේ නම්  ගම්පොළ හරහා  මහනුවරට පැමිණ එතැනින් මාතලේ,  නාලන්ද, නාඋල යන මංසන්ධි ඔස්සේ  දඹුල්ලට පැමිණ දඹුල්ල හරහා  හබරන මංසන්ධියට පැමිණ එතැනින්  දකුණට හැරී  මොරගස් වැව ඔස්සේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට  පිවිසිය හැකිය

තලගොයා

ශාක ප්‍රජාව

වියළි කලාපීය වනාන්තරයක් වන මෙහි වියළි මිශ්‍ර සදා හරිත  වනාන්තර(Dry Mixed Evergreen Forest) ස්වභාවයක් දක්නට ලැබේ.වියන් සහිත මිටි වෘක්ෂ ලතාවන්ගෙන්  යුත් වන වැස්මක්(Low Canopy Montain Forest) අතර මැදි උස් වියන් සහිත ද්වීතියික වනාන්තර(Intermediate High Canopy Secondary forest) කටු පඳුරු(Scrubs),  හෙන් වගා ඉඩම්  තණබිම් (Grass Land),  සහ තෙත්බිම්(Wet Land) පිහිටා ඇත බුරුත,(Chloroxylon swietania) මිල්ල (Vitex pinnata),පලු(Mnilkara hexandra), දිවුල්(Feronia limonia),  වීර(Drypetes seperia) ,කොහොඹ(Azadirachta indika), කුඹුක්(Terminalia arjuna) සියඹලා(Tamarindus indica), හල් මිල්ල(Barriaya cordifolia)  බෝ(Ficus riligiosa) වැනි මහා ශාක විශේෂ රැසක්  මෙම ජාතික වනෝද්‍යානයෙන් හමුවෙයි. ලඳු කැළෑ ආශ්‍රිතව රණවරා(Cassia auriculata), මලිත්තන් (Salvadora persica)කරඹ( Cassia spinarum),කුකුරුමාන්(Randia dumetorum), මස්බැද්ද (Gymnema sylvestre)  කටු පුරුක් (Dipterochanthus patalus)  උල් කෙන්ද(Polyalthea korinti),  කිරීකෝන් ( Walsura piscidia) සහ  කැප්පෙටියා(Croton laceifer), යන ශාක වෙයි. වියළි කලාපීය වනාන්තරවල දැකිය හැකි  කටු උණ( Bambusa bambos) සහ  වල් ඉ ඳි ( Phoenix zelanica) යන ශාක විශේෂද දක්නට ලැබේ.

සත්ත්ව විශේෂ

පැටවාට කිරිදෙන මුව දෙනක්

අලියා(Elephas maximus)කොටියා (Panthera pardus kotiya),වලහා(Melurus ursinus), ගෝනා(Cervus unicolor), තිත් මුවා (Axis axis),කුළු මී හරකා(Bubalus bubalis), උන හපුළුවා(Loris tradigradus), නරියා(Canis aureus),   මිමින්නා (Tragulis meminna), වල් ඌරා(Sus scrofa), වැනි ක්ෂීරපායි සත්ත්ව විශේෂ ප්‍රමුඛ තාවක් ගන්නා අතර

මුගටියා(Paradoxurus zeylanicus, නරියා(Canis aureus), මිමින්නා (Tragulis meminna), වල් ඌරා (Sus scrofa), මීමින්නා(Tragulus meminna),  හාවා(Lepas nigricolis), උරුලෑවා(Vivericula indica), කබල් ඈයා( Manis crassicodata),  ඉත්තැවා(Histric indika),උණහපුළුවා(Loris tradigradus),  දඬුලේනා(Ratufa macroura),  කොළ දිවියා (Felis viverinus) වල් බළලා( Files chaus kelartii), වැනි සත්ත්ව විශේෂ ගණනාවක්ද හමුවෙයි.

පක්ෂි විශේෂ

මහ සුදු කොකා

වනෝද්‍යානය තුළින් පක්ෂි විශේෂ 160 පමණ වාර්තාවෙයි. මෙම පක්ෂි විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේනික හබන් කුකුළා(Galloperdrix bica), වළි කුකුළා  (Gallus lafayetii), ගිරා මලිත්තා(Loriculus bertllinus) වත රතු මල් කොහා (Phaenicophaeus pyrrhoesphalus), අළු කෑදැත්තා(Ocyeros gingulunss), මල් කොට්ටෝරුවා(Megalamia rubricapilla), මුදුන් බොර දෙමළිච්චා(Pellorneum fuscocapillum), යන පක්ෂි විශේෂ හැරුණු කොට මොනරා(Pavo cristatus),

                           උදෑසන පිල් විදහා රඟන මොනරෙක්

හිස කළු කොණ්ඩයා(Hypsipetes metanicetrus)  කොණ්ඩ කුරුල්ලා(Pycnonotus cafer), කවුඩා (Dicrurus caerulescns)  පොරෝලුවා (Upupa epops )යන පක්ෂි විශේෂ දක්නට ලැබේ. මේ හැරුණු කොට නිශාචර මාංශ භක්ෂක පක්ෂින් අතර  කන්දිග බස්සා(Otus bakamoena),  බිම් බස්සා(Caprimulgus asiaticus),  වැනි බස්සන් හා බකමුණන් විශේෂ  හැරුණු කොට දිවාචර මාංශ භක්ෂක පක්ෂින් වන  බ්‍රාහ්මණ උකුස්සා( Haliastur indus),  කුරුළු ගොයා(Accipetes badius),  සහ කළු උකුස්සා( Ictinaetus maleyensis) යන පක්ෂි  විශේෂ  වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව හා ජලාශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිත පරිසර පද්ධතිවල නිරීක්ෂණය කළ හැකිය. එසේම දිය දහරා ආශ්‍රිත පරිසර පද්ධති වල  දිය කාවුන් විශේෂ රැසක්  හමුවන අතර මහ සුදු පැස්තුඩුවා(Pelicanus onocrotalus) අළු කොකා( Ardea cinarea),  කරවැල් කොකා(Ardea purpurea), මහ සුදු කොකා(Casmerodius albus) සහ කණ කොකා (Ardeola grayii) වැනි ජලාශ්‍රිත පක්ෂීන් රැසක් දක්නට හැකිය.

උරග විශේෂ

                                                                          පලා පොළඟා

මෙම වනෝද්‍යානය තුළින් උරග විශේෂ 25 ක් පමණ වාර්තාවෙයි. මෙම විශේෂ අතර පිඹුරා (Python molurus) කොට පිඹුරා (Exyx canicus brevis), මුදු කරවලා ( Bangarus ceylonensis),  නයා (Naja naja) මුදු කරවලා ( Bangarus ceylonensis),  නයා (Naja naja)  ඇහැටුල්ලා (Ahetulla nautus තිත් පොළඟා (Dabioa pulchella) සහ මාපිල් විශේෂ (Boiga Spp ) මෙන්ම මද සහ සුළු විෂැති සර්ප විශේෂ රැසක්   මෙම ජාතික වනෝද්‍යානයෙන් හමුවෙයි. වෙසෙන සිව්පා උරගයන් අතර හැල කිඹුළා(Crocodylus palastris), තොල් විසිතුරු කටුස්සා(Calotes ceylonensis), තල ගොයා(Varanus bengalensis), කබර ගොයා( Varanus salvator) හීරළු විශේෂ ප්‍රධාන තැනක් ගනී.

                                       කරමල් බෝදිලියා

මින්නේරිය ජලාශය ඇසුරුකොට මිරිදිය ධීවර කර්මාන්තය බෙහෙවින් කෙරෙන  බැවින් තිලාපියා හෙවත් ජපන් බට්ටා(Oreochromis mosambicus),  තෙප්පිලි(Trichogaster pectoralis) වැනි මත්ස්‍ය විශේෂ වල  ගහනයක් විසීම දේශීය මත්ස්‍ය විශේෂ වලට දැඩි තර්ජනයක් වීඇත.

ශ්‍රී ලංකාවේ අනෙකුත්  වනෝද්‍යාන වල හා වනාන්තර වල  ක්‍රියාත්මක වන සතුන් දඩයම් කිරීම්  අනවසර දැව හෙලීම්  මෙම අනවසර හේන් වගාකිරීම් මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළද සිදුකෙරෙන් බැව් රහසක් නොවේ . එහෙත් වනජීවී නිළධාරින් එම අනවසර පාරිසරික හානිකර ක්‍රියා නැවැත්වීමට  ගන්න බොහෝ උත්සාහ  දේශපාලන බලවතුන් නිසා ව්‍යවර්ත වන බැව් කිවයුතුමය.

 

 

%d bloggers like this: