“නිමල් සිරිපාල අගමැති කෙරෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා” – ඇමතිවරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගොඩනැගීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින බව වාර්තාවේ.

මේ පිළිබඳව බීබීසී සිංහල සේවයට තොරතුරු කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් සඳහන් කළේ, එසේ පිහිටුවන ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කෙරෙනු ඇති බවය.

ඔහු මේ කරුණු සඳහන් කළේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අගමැති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ කිහිප දෙනෙකු සමග ද මේ වනවිට සාකච්ඡා කෙරෙන බව අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධයෙන් සිය පාර්ශ්වයේ තීරණ දැනුම් දී ඇති බවය.

දැනට පවතින හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව පිහිටුවන ආණ්ඩුවක අගමැතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා වැනි අයෙකු පත්කරගැනීම පිළිබඳව විරෝධයක් නැතත් සිය පාර්ශ්වය ආණ්ඩුවේ කොටස්කරුවෙකු නොවන බව ඔහු කියා සිටියේය.

විපක්ෂයේ සිට ඊට සහය දෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එවැනි ආණ්ඩුවක් පෙරලීමට ඉඩ නොදෙන බව ද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ රැදී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීමට සිය පක්ෂයට එකඟවිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ජනපතිට යැවූ ලිපිය
එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ජනපතිට යැවූ ලිපිය

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගෙන නව රජයක් පිහිටුවිය යුතුයැයි අපේක්ෂාකරන බව පවසන ඔහු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඔහු සිය ලිපියෙන් පෙන්වාදෙන්නේ වර්ෂ දෙකක කාලයක් සඳහා සම්මුතිවාදී රජයකට එකඟතාව පළවුවත් දැන් එම කාලය ඉකුත්වී ඇති බවකි.

එම කාලය තුළදී අගමැතිවරයාගේ නායකත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවලට එළඹීම අසීරු වුවද සිය මැති ඇමතිවරුන් සාමුහික බව ගරු කළේ යැයි ඔහු කියා සිටී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූ වංචා දුෂණ මැඩලීම වෙනුවට මහා බැංකු බැඳුම්කරය වැනි මහා පරිමාන වංචා අගමැතිවරයාගේ දැනුම මත සිදුවූ බව රටට රහසක් නොවේ යැයි එම ලිපියෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආර්ථික කළමනාකරණය මෙන්ම යහපාලන මුලධර්මවලට පිටුපෑම ඇතුළු තමන්ට ද එකඟවිය නොහැකි, දේශීයත්වය රැකගන්නා වැඩපිළිවෙලකට යාම වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මත පිහිටා ගනු ලැබූ තීරණ නිසා වර්තමානයේ ජනමතය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියේ දැක්වේ.

බීබීසී පුවත් ඇසුරෙණි

Be the first to comment on "“නිමල් සිරිපාල අගමැති කෙරෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා” – ඇමතිවරයෙක්"

Leave a Reply

%d bloggers like this: