පුන්චි සිංහ රාජය බඳු කන්නෙලිය

අමල් උඩවත්ත–

ශ්‍රි ලංකාවේ තිබෙන විවිධ වු වනාන්තර පරිසර පද්ධති පිළිබඳව විමසීමේදී  ජෛව විවිධත්වයෙන් පිරිපුන් පරිසර පද්ධතියක් ලෙසට කන්නෙලිය හැඳින්විය හැක.  පහත රට වැසි වනාන්තර ගණයට අයත් මෙම වනාන්තරය තවලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්ය. වර්ෂ 1934- 07 -06 වන දින වන ආඥාපනත යටතේ වන රක්ෂිතයක්  ලෙසට ප්‍රකාශයට පත් කර ඇත . මෙසේ රක්ෂිතයක් බවට පත් කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර  6114.6කි. මෙය සුදකලා වනාන්තරයක් නොවේ.

 ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි හෙක්ටයාර 2236 වන නාකියාදෙණිය රක්ෂිතය, කන්නෙලිය දකුණු මායිම හා සම්බන්ධව ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක හා සම්බන්ධව පිහිටා ඇත. 1940 සැප්තැම්බර් 6 වනදින රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කළ හෙක්ටයාර 3866 ක් දෙදියගල  වන රක්ෂිතය  කන්නෙලිය වනාන්තරයේ ගිණිකොන දෙසින් පිහිටා ඇත. මේ අනුව  හෙක්ටයාර 12296 ක්පමණ භූමි ප්‍රමාණයක්  මෙම වන සංකීර්ණයට අයත්වෙයි. මේ අනුව  ශ්‍රි ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ ගාල්ල නගරයට කිලෝ මීටර් 35 ක් ඊසාන දෙසින්  කන්නෙලිය ,දෙදියගල නාකියාදෙනිය  වන සංකීර්ණය ( Kanneliya, Dediyagala, nakiyadeniya forest complex) පිහිටා ඇත. පහත රට තෙත් කලාපයේ  පිහිටා ඇති  බැවින් වසරේ මැයි මාසයේ සිට  සැප්තැම්බර් දක්වා වන නිරිත දිග  මෝසම්  වර්ෂාවෙන් පෝෂණයවන මෙහි වාර්ෂික වර්ෂා පතනය මිලි මීටර් 4445 කි. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 (C 270) කි. ගිං ගඟෙන් පෝෂණයවන  ජල පෝෂක ප්‍රදේශයක් වන කන්නෙලිය  වන සංකීර්ණය  තන්නිතික ඇළ, කන්නෙලිය ඇළ, උඩුගම ඇළ සහ  හෝම දොළ යන ප්‍රධාන ජල මාර්ග හා සම්බන්ධ වි තිබෙන කුඩා ඇළ මාර්ග111 කින් පෝෂණය වෙයි. මෙයට අමතරව මීටර් 46 උස අනගිමල ඇල්ල සහ මීටර් 70 උස නාරංගස් ඇල්ල  යන දිය ඇලි වලින් ද මෙම රක්ෂිතය පෝෂණය වෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 60 ත් 425 ත් අතර උස ප්‍රමාණයකින් පිහිටි මේ වන සංකීර්ණය   තුළ ක්ෂුද්‍ර පරිසර පද්ධති  නිර්මාණය වීතිබේ.

 

ගිං ගඟෙන් පෝෂණයවන  ජල පෝෂක ප්‍රදේශයක් වන කන්නෙලිය  වන සංකීර්ණය  තන්නිතික ඇළ, කන්නෙලිය ඇළ, උඩුගම ඇළ සහ  හෝම දොළ යන ප්‍රධාන ජල මාර්ග හා සම්බන්ධ වි තිබෙන කුඩා ඇළ මාර්ග111 කින් පෝෂණය වෙයි. මෙයට අමතරව මීටර් 46 උස අනගිමල ඇල්ල සහ මීටර් 70 උස නාරංගස් ඇල්ල  යන දිය ඇලි වලින් ද මෙම රක්ෂිතය පෝෂණය වෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 60 ත් 425 ත් අතර උස ප්‍රමාණයකින් පිහිටි මේ වන සංකීර්ණය   තුළ ක්ෂුද්‍ර පරිසර පද්ධති  නිර්මාණය වීතිබේ.

දේශීය මත්ස්‍ය විශේෂ රැසකට වාසස්ථාන සපයන කන්නෙලිය දොළ

ජෛව විවිධත්වය

පහත රට තෙත් කලාපීය වනාන්තර වැස්මක් තිබෙන බැවින්  නෙරු ස්ථරය, වියන් ස්ථරය, උප වියන් ස්ථරය පඳුරු ස්ථරය,  සහ යටිගොන්න යනුවෙන් මෙම ස්ථර හැඳිවිය හැක.  මෙහි ආරෝහක ශාක හෙවත් වැල්වර්ග, අපිශාක ,උඩවැඩියා සහ මීවන ශාක විශේෂ ද දැක ගත හැකිය. මෙහි ආරෝහක ශාක හෙවත් වැල්වර්ග, අපිශාක සහ උඩවැඩියා  මීවන ශාක විශේෂ ද දැක ගත හැකිය.  ආරෝහක ශාක අතර වෙනිවැල් හෙවත්  බාංවැල්(Coscinium fenestratum) , මා වේවැල්( Calamus thwaitesii), තම්බොටු වැල්(Calamus zelanicus) කලවැල්( Calamus rivalis), කුකුලු වැල්( Calamus radiatus) හිඹුටු වැල් යනාදිය ප්‍රධාන තැනක් ගනී.

උඩවැඩියා විශේෂ අතර ඩෙන්ඩ්‍රොබියම් විශේෂ(Dendrobium Spp:), නාරිලතා (Habenaria crinfera ), වනරාජ( Anoectochilus regalis), ඉරු රාජ (Zecunine regia),  යන සුවිශේෂි ශාක විශේෂ මෙම වන ස්ංකීර්ණයෙන් දැක ගත හැකිය. මීවන ශාක අතර කුඩා හැඩයා ( Huperzia squarrosa) ,මහ හැඩයා ( Huperzia phlegmaria), යන ශාක ද හමුවෙයි. දිය දහරා ආශ්‍රිතව කෙටල (Cryptocoryne spp;),කෙකටිය (Apponogetan Spp;), අතිඋඩයන් (Laginandra Spp:),යන ජලජ ශාකද දැක ගතහැකිය.

ශ්‍රි ලංකාවට ආවේනික ශාක විශේෂ රාශියක් හමුවෙයි. මෙම ශාක අතර  ආරිද්ද ( Camphosperma zelanicum ), ඇටඹ ( Mangifera zelanica), මහ බදුල්ල( Semicarpus parvifolia), කළු බදුල්ල (Semicarpus walkeri ), වැලි පියන්න (Anysophyllea cinamomoides), කටමොද (Cullenia rosayroana) කැකුණ(Canerium zelanicum) වලුකීන ( Callophylum bracteatum), මඩොල් (Garcenia hermoni ), දොඹ කීණ ( Calophyllum moonii),දොරණ ( Depterocarpus glandiolosum),හොර (Depterocarpus zelanicus),හල් (Vetaria copalifera )  ගල් වෙරළු( Eleocartus subrillosus ) යනාදිය වෙයි.

සත්ත්ව විශේෂ

ක්ෂීරපායි සත්ත්ව විශේෂ 20 ක් පමණ වාර්තාවන  කන්නෙලියෙන් කළු වඳුරා(Trachypithecus vetulus) රිලවා(Macaca sinica), රන් උණහපුළුවා( Loris tradigradus),  කොටියා( Panthera pardus kotiya), දඬුලේනා (Ratufa macroura), ගෝනා ( Cerves unicolor), ඉත්තෑවා ( Histric indica), කබල්ලෑවා ( Manis crasicaudata),  දිය බල්ලා ( Lutra lutra) නරියා (Canis aureus) යන සත්ත්ව විශේෂ ප්‍රධාන තැනක් ගනී.

පක්ෂි විශේෂ

කන්නෙලියෙන්  පක්ෂි විශේෂ 124 ක් පමණ වාර්තාවන අතර එයින් විශේෂ 23 ක් ශ්‍රි ලංකාවට ආවේනික වෙයි.කළු රාජාලියා (Balck Eagla) ඩුගුලා (Brown wod owl ), මහ ගිනි කුරුල්ලා( Malabar trogen) රන් පිළිහුඩුවා ( Tree toed King fisher),ලංකා සැළලිහිනියා (Ceylon Grakula) ලංකාබට ඇටිකුකුලා (Green Billed coucal), කැහීබෙල්ලා( Blue Magpie)හබන් කුකුලා(Sperfowl) වත රතු මල් කොහා( Red faced Mal koha),  පිට තඹල වන බස්සා(Chestnut backed owlet ), අළු ගිරවා( layared’s parakeet) වැනි පක්ෂීන් වාර්තාවෙයි.

උරග විශේෂ

විශේෂ 39 ක් පමණ වාර්තාවන කන්නෙලියෙන් රනවනගේ රන් මාපිලා (Boiga ravawenaei), සහ දැරණි‍යගලගේ වල්ගා ඇබයා (Rhinophis tricoloratus), නම් පාංශුවාසී  සර්ප විශේෂය හමුවන්නේ කන්නෙලියෙන් පමණි. ශ්‍රි ලංකාවට ආවේනික සර්ප විශේෂ අතර කුඩා මැඩිල්ලා(Aspidura guntheri ),දාර කරවලා(Cercaspis carinatas), කබර දත් කැටියා(Oligodon calamarius),  කබර කන උල්ලා ( Typholps leucomelus), මූකලන් තෙලිස්සා (Hypnale nepa),  කුඩා මූකලන් තෙලිස්සා(Hypnale walli), සහ පළාපොළඟා(Trimeresurus trigonocephalus), වැනි සර්පයින් සහ  පිනුම් කටුස්සා(Otocryptis weigamanni),  සිවුරුහන්ලන කටුස්සා(Calotes liolepis), කරමල් බෝදිලියා( Lyriocephalus scutatus),  වැනි සිව්පා උරගයින් රැසක් ද වාර්තාවෙයි.

උභය ජීවීන්

කන්නෙලියෙන් වාර්තාවන උභය ජීවින් විශේෂ ගනන 19 කි. මෙයින් විශේෂ  14 ක් ශ්‍රි ලංකාවට ආවේනික වෙයි. නගාඕගේ මොට හොඹුමැඩියා (Remanella nagaoi) නම් විශේෂය පළමුවෙන්ම හඳුනා ගන්නා ලද්දේ කන්නෙලිය වනාන්තරයෙන් වීමද  විශේෂත්වයකි. කෙලාර්ට් ගේ කුරුගෙම්බා(Adenomus kelaarti) ලංකා ගල්පර මැඩියා(Nannophyrs ceylonensis), වකුටු කොළ පඳුරු මැඩියා( Philautus folicola),දික් හොඹු ගස් මැඩියා(Polypedatus longinasus) යන විශේෂ වාර්තාවෙයි.

 මත්ස්‍ය විශේෂ

හීත මස්සා

මෙම වනාන්තර පද්ධතියෙන් වාර්තාවන මිරිදිය මත්ස්‍ය විශේෂ ගනන 24 කි.

මෙයින් විශේෂ 15 ක් ශ්‍රි ලංකාවට ආවේනික වෙයි. විල්පිට  දණ්ඩියා (Rasbora wilpita),  පතිරණ සාලයා(Danio pathirana),තල් කොස්සා( Belnontia signata),හල්මල් දණ්ඩියා(Rasboraides vetarifloris), හීත මස්සා(Puntius pleurotaenia ), කොළ කනයා(Channa orientalis),  ලේ තිත්තයා( Puatius titteya) බුලත් හපයා(Puntius nigrofaciatua) සහ උඩහඳයා(Aplocheilus dayi) යන මත්ස්‍ය විශේෂ ප්‍රධානවෙයි. 

කබ්බලේ කන්ද

කන්නෙලිය වන සංකීර්ණයේ තිබෙන සුන්දර ස්ථාන අතරින් සුන්දරම ස්ථානයක් ලෙසට කබ්බලේ කන්ද හැඳින්විය හැක. කබ්බලේ කන්ද පිහිටි ප්‍රදේශය දෙසට යනවිට හමුවන ස්ථාන අතරින් ලිහිණියගල්ලෙන  වනාන්තරයට පිවිස මීටර් 200 ක් පමණ යනවිට හමුවෙයි. මෙහි විශාල ගල් ලෙනක් තුළින් දොළක් ගලායයි,. මේ ගල්ලෙනේ වවුලක් සහ ගෙම්බන් විශේෂ රැසක් වෙසෙයි. එතැනින් මීටර් 300ක් පමණ යනවිට විශාල දොරණ (Dipterocarpus glandulosus) ගසක් හමුවෙයි. නාගස් මණ්ඩිය යනු තවත් මීටර් 500 ක් පමණ ඉදිරියට යනවිට හමුවන නාගස් වැවුණු ප්‍රදේශයකි. එම මග අතර ප්‍රදේශයේ පිහිටි පුංචි කොස්පැළ කන්ද අසල  යකහළු ගස් පිරුණු බිම් පෙදෙසක් හමුවෙයි. මෙම පෙදෙස යකහළු මණ්ඩිය යනුවෙන් හැඳින්වෙයි. කබ්බලේ කන්දට යන අතර මග ගලෑලිදොළ ඇල්ල  හමුවෙයි.මෙම ගල්ලෑලි දොළඇල්ල  අසල සිට දැඩි බෑවුමක් සහිත මාර්ගයකින් කබ්බලේ කන්ද මුදුනට පිවිසිය යුතුය. මෙම කඳු මුදුනට කළුබෝවිටියන කන්ද,දෙනියාය සහ මොරවක කඳුවැටිය ඉතාමත් පැහැදිලිව පෙනේ. ස්වාභාවික ජෛව සංරක්ෂණාගාරයක් බඳුවු කන්නෙලිය, දෙදියගල  නාකියාදෙනිය වනාන්තර සංකීර්ණය   පිළිබඳව  පාසල් දරුවන් අධ්‍යනය කිරීමට පෙළබෙන්නේ නම් ශ්‍රි ලංකාවේ තිබෙන  බොහෝ පරිසර පද්ධති  පිළිබඳව පුළුල් දැනුමක් සහ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට මේ තුළින් ඔවුන්ට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

 

 

 

%d bloggers like this: