පොදු රාජ්‍ය මණ්ඩලයේ අනාගත නායකයා ගැන රහස් සාකච්ඡා

PA

දෙවන එලිසබත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය පිළිබදව රහසිගත සාකච්ඡාවක් පැවැත්වුන බව බීබීසීයට වාර්තා වෙයි.

රැජිනගේ මරණයෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ප්‍රවේණි උරුමයෙන් චාල්ස් කුමරුට නොලැබෙන හෙයින් මෙය අතිශය සංවේදී කාරණයක් බවට පත් වී ඇත.

එවැනි පසුබිමක් යටතේ එම ජාත්‍යන්තර සංවිධානය පාලනය කළ යුතු අකාරය සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය විසින් “ඉහළ මට්ටමේ කණ්ඩායමක්” පත් කරනු ලැබ ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සහ එහි පාලකයන් පිළිබදව තීරණ ගැනීමට එකී කණ්ඩායම නිල වශයෙන් රැස්වීමට නියමිතය.

මෙම වසරේ අප්‍රේල් මස සිය 92 වැනි උපන්දිනය සමරන රැජින හදිසියේ මියගියහොත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉදිරි නායකත්වය පිළිබදව ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත රැස්වීමේදී සැලකිල්ලට ගනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග මගින් පැවසෙයි.

අනුප්‍රාප්තිකයා පිළිබඳව ප්‍රශ්නය කෙතරම් නීරස වුනත් එය ස්වභාවිකව සිදු වනු ඇතැයි තමා සිතන බව එක් ආරංචි මාර්ගයකින් පැවසෙයි.

අප්‍රේල් මස ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී (CHOGM) රාජ්‍යය නායකයින් හමුවට මෙම ප්‍රශ්නය රැගෙන යාමට එකී කණ්ඩායම අපේක්ෂා කරන අතර, එය බොහෝ විට රැජින සහභාගී වන අවසාන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව විය හැකිය.

CommonwealthREUTERS
2016 පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සම්මාන උළෙලේ ජයග්‍රාහිකයන්ට සුභ පතන දෙවන එලිසබෙත් රැජින

“පුළුල් ආකාරයේ පාලනයක් පිළිබඳව සලකා බැලීමක්” පිළිබඳව සාකච්ඡාවක් එම සමුළු න්‍යාය පත්‍රයට ඇතුළත් වෙන බව බීබීසියට දැක ගැනීමට ලැබී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර වින්ඩ්සර් මාලිගයේදී පැවැත්වෙන ආගන්තුක සංග්‍රහයට රාජ්‍යය නායකයින් පමණක් සහභාගී වන හෙයින් එහිදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කෙරෙනු ඇති බවටද මත පහළව ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලය කුමක්ද ?

•බ්‍රිතාන්‍යය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද රටවල් සහ වෙනත් රටවල් කිහිපයක එකතුවකින් සෑදුනු නිදහස් සංවිධානයකි.

•මෙය 1931 දී ආරම්භ විය.

•සාමාජික රටවල් ගණන පනස් තුනකි.

•මහලේකම් කාර්යාලය (මූලස්ථානය) පිහිටා ඇත්තේ ලන්ඩන් නුවරය.

•පොදු රාජ්‍ය මණ්ඩල රටවල්වල ජනග‍හනය බිලියන 2.4 ට ආසන්නය.

1953 අභිෂේක ලැබීමෙන් පසු එලිබසත් රැජින පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වයට පත් විය. එවිට ඇය එහි සාමාජික රටවල් අටෙන් හතක රාජ්‍යය නායිකාව වුවාය.

රැජිනට එම පදවිය තම පියා වන හයවන ජෝර්ජ් රජුගෙන් පසු ප්‍රවේණි උරුමයෙන් ලැබුණ නමුත් ඇයගේ පුතා නිතැනින් මිලඟ අනුප්‍රාප්තිකයා වන්නේ නැත. වර්තමානයේදී රැජින තම රාජ්‍යය නායිකාව ලෙස පිළිගැනෙන්නේ සාමාජික රටවල් පනස් තුන අතරින් පහළොවක පමණයි.රැජිනගේ මරණයත් සමගම මෙම සංවිධානයේ අනාගත නායකත්වය පිළිබදව එහි සාමාජික රටවල නායකයින් තීරණයක් ගනු ඇත. නමුත් මේ සදහා විධිමත් ක්‍රියාපටිපාටියක් නොමැත.

පෙර පැවැත්වූ සාකච්ඡාවලට අනුව චාරිත්‍රානුකූලව නායකයෙකු පත් කර ගැනීමෙන් සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදය හා බැදුණු විශ්වාසය වැඩි දියුණු වන බැවින් චාල්ස් කුමරු නායකත්වයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට සමහර නිලධාරීන්ගේ මතයයි.

 

CommonwealthGETTY IMAGES
චාල්ස් කුමරු නායකත්වයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සමහරුන්ගේ මතයයි.

මෙහි ප්‍රශ්නය වී ඇත්තේ ඒකමතික තීරණයකින් චාල්ස් කුමරු මෙම පදවියට පත් කර ගත යුතුද නැතහොත්, සංවිධානයේ නායකත්වයට නිරතුරුවම පත් විය යුත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු බව සනාථ කරන නව ක්‍රියාවලියක් සදහා එකඟ විය යුතුද යන්න යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදු රාජ්‍ය මණ්ඩල රටවල හිටපු අමාත්‍යවරුන් හත් දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම ඉහළ මට්ටමේ කණ්ඩායම ලන්ඩන් නුවර පිහිටි ඔවුන්ගේ මූලස්ථානයේදී හමුවීමට නියමිතය.

මෙම කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වෙයි. මහලේකම් කාර්යාලයේ පාලනය, අරමුදල්, මහලේකම්වරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් සහ නිලධාරීන් අතර බලතුලනය කිරීම මෙම කණ්ඩායමයට අයත් කාර්යන් අතුරෙන් කිහිපයකි.

CommonwealthPA
1953 අභිෂේක ලැබීමෙන් පසු එලිබසත් රැජින පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වයට පත් විය. ඉන්පසු ඇය සාමාජික රටවල් සියල්ලේම සංචාරය කලාය. මෙම ඡායාරූපය 1977 ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර ගන්නා ලද්දකි.

මේ අතරතුර රැජින මෙම පදවිය චාල්ස් කුමරුහට ලබාදීමට පෞද්ගලිකව වෙහෙසෙමින්, ලෝ පුරා වෙසෙන පොදු රාජ්‍ය මණ්ඩල නායකයින් හමුවට ජ්‍යෙෂ්ඨ නිළධාරීන් යැවීමට කටයුතු කරමින් ඇත.

2015 දී මෝල්ටාහි පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී (CHOGM) රැජින ප්‍රකාශ කළේ තමා “වේල්සයේ කුමරාට තරම් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ප්‍රතිචාර සහ නියෝජනයන් බලාපොරොත්තු වෙන්නේ නැති අතරම, ඔහු එයට ඉතා ගෞරවාන්විතව බොහෝ දේ ලබා දෙනු ඇති” බවය.

රැජින නියෝජනය කරමින් චාල්ස් කුමරු 2013 ශ්‍රී ලංකාවේදී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට (CHOGM) සහභාගී විය. පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් ඔහුගේ වෙබ් අඩවියේ විශාල ඉඩක් වෙන් වී ඇත. ඔහු සාමාජික රටවල් පනස් තුනෙන්, හතලිස් එකක සංචාරය කර ඇති අතර, දශක හතරකට අධික කාලයක් පොදු රාජ්‍ය මණ්ඩලයේ “සාඩම්බර අධාරකරුවෙකු” ලෙස හඳුන්වයි.

බීබීසී පුවත් ඇසුරෙණි

Be the first to comment on "පොදු රාජ්‍ය මණ්ඩලයේ අනාගත නායකයා ගැන රහස් සාකච්ඡා"

Leave a Reply

%d bloggers like this: