මේ වසරේ පළමු දින 17 තුළ ඩෙංගු රෝගීන් 3000 ක්

ජනවාරි මාසයේ පළමු දින 17 තුළ පමණක් රට තුළ ඩෙංගු රෝගීන් 2,982 ක් පමණ වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, නුවර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, කල්මුණේ, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක දැනට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන අවදානම් ප්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.

ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.

බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක හඳුනා ගත් වැඩි අවදානම් කලාප තුල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 700 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහන් මේ දිනවල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසියට පැවසුවේය.

ඩෙංගු

සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 වසරේ ඩෙංගු රෝගීන් 1,85,000 ක්‌ පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති අතර එයින් පුද්ගලයන් 400 කට අධික පිරිසක්‌ මිය ගොස් තිබේ.

2017 වසරේ වාර්තාවූ ඩෙංගු රෝගීන්ගෙන් 41% ක්ම වාර්තා වුයේ බස්නාහිර පළාතෙනි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් වශයෙන් ‘Wolbachia’ බැක්ටීරියාව යොදාගැනීමේ ව්‍යාපෘතියක්, ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය 11 වෙනිදා පැවති හමුවේදී අනුමැතිය ලබාදී තිබේ.

මෙම ක්‍රමවේදය ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය හා කොලොම්බියාව යන රටවල්වල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතින එකක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

‍ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා ‘Wolbachia’ බැක්ටීරියාව යොදාගැනීමට ඇති හැකියාව ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය සාර්ථකව අත්හදා බලා තිබෙන බව පවසන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම බැක්ටීරියාව මඟින් ඩෙංගු මදුරුවන්ගේ ශරීරය තුළ සම්ප්‍රේෂණය කළ හැකි මට්ටමකට ඩෙංගු වෛරසය වර්ධනය වීම වළක්වනු ලබන බව කියා සිටියේය.

බීබීසී පුවත් ඇසුරෙණි

%d bloggers like this: