රතු දත්තපොතට ගිය අපේ සත්තු

–අමල් උඩවත්ත–

වර්ග කිලෝ මීටර් 65,610ක් පමණ  වර්ග ප්‍රමාණයක් ඇති ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ලෝකයේ අන් රටවල් සමග සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගන්නා බැව් පෙනීයයි. මෙම ජෛව විවිධත්වයට ශාක විශේෂ (මල් පූදින හා මල්  නුපූදින ශාක) (Flowering & Non flowering Plants),පක්ෂීන් (Birds),උභයජීවීන් (Amphibians), කෘමි විශේෂ (Insect) උරගයින්  (Reptiles) සහ ක්ෂීරපායින් (Mammals)  අයත් වෙයි. ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) සමීක්ෂණ වලට අනුව ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් ඉහළ අගයක් ගන්නා රටවල්(Bio diversity hot spots) අතර 24 වැනි ස්ථානය ගනී. මෙයින් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් වැදගත් ස්ථානයක සිටිනවාට වඩා ශ්‍රී ලංකාව සතු ජෛව විවිධත්වය කිසියම් තර්ජනයකට ලක්වීඇති බවකි.එබැවින් ලෝක සංරක්ෂණ සංගමය විසින් කරන ලද සමීක්ෂණ වලට අනුව ශ්‍රී ලංකාවේ සත්ව විශේෂ ගනනාවක් මේවනවිට  වඳවීයාමේ තර්ජනයට ලක්වීඇතිබැව් පෙනීයයි.   වඳවීයාමට ලක්වීඇති මෙම සත්ව විශේෂ පිළිබඳව සකස් කළ  වාර්තාව රතු දත්ත වාර්තාව (Red data list) යනුවෙන් හැඳින් වෙයි. මෙම ලිපියෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ක්ෂීරපායි විශේෂ අතරින් රතු දත්ත වාර්තාවට ඇතුලත්  ක්ෂීරපායි විශේෂ කීපයක්  පිළිබඳව  පැහැදිළි කෙරෙයි.

උන හපුළුවා

Red Slender Loris යන ඉංග්‍රීසි නමින් සහ Loris tradigradus යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී ලංකාවේ  වැසි වනාන්තර වලත් හා වන ගහනයෙන් යුත් ගෙවතු සහ ඉඩම් වලත් ජීවත් වන උන හපුළුවා නිශාචර ප්‍රයිමේටා ගනයට අයත් ක්ෂීරපායි සත්ත්වයෙකි. වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වී ඇති මෙම සත්ත්ව  කාණ්ඩයේ විශේෂ දෙකක් ශ්‍රී ලංකාවේ වාසය කරයි. මෙම විශේෂ දෙක යනුවෙන් හැඳින්වෙයි. මෙයින් හෝටන්තැන්නේ වෙසෙන උනහපුළු විශේෂය Loris tradigradus nycticeboides යන විද්‍යාත්මක නමින් හඳුන්වන අතර වියළි කලාපීය වනාන්තරවල වෙසෙන උන හපුළුවන් Loris tradigradus tradigradus  යන විද්‍යාත්මක නමින් හඳුන්වයි. මානව වර්ගයේ කුඩාම සාමාජිකයා ලෙස  පිළිගැනෙන උනහපුළුවා හඳුනා ගැනීමට පහසුවන ශරීර ලක්ෂණ කීපයකින් යුක්තය. විශේෂයෙන් ප්‍රමාණයෙන් විශාලවූ ඇස්  සහ  හදවතක හැගය ගත් මුහුණ  සහ ප්‍රමාණයෙන් කුඩා ශරීරය  විශේෂ ලක්ෂණ වෙයි. වැඩුණු උනහපුළුවෙක් දිගින්  මි.මි.180 ත් 250 ත් හෙවත් අඟල් 7 ත් 10 ත් අතර ප්‍රමාණයක් වෙයි. උපරීම බර ග්‍රෑම් 85 ත් 325 ත් අතර වෙයි.

 

රන් හෝතඹුවා                    

      

Golden Plam Cevet යන ඉංග්‍රීසි නමින් සහ Paradoxurus zeylonensis  යන විද්‍යාත්මක නමින් හඳුන්වන රන් හෝතඹුවා ශ්‍රී ලංකාව ආවේනික වඳවී යාමේ තර්ජනයට(Endengerd) (EN) ලක්වී ඇති  ක්ෂීරපායී  සත්ත්ව විශේෂයකි. සිරුරේ ඉහළ කොටස දුඹුරු පැහැයක් ගන්නා අතර මලකඩ දුඹුරු පැහැ‍ය දක්වා වෙනස් වන වර්ණ රටාවක්ද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මොවුන්ගේ වර්ණ රටා තුනක් වර්ථා වෙයි  ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර වලත්   සදාහරිත  කඳුකර වනාන්තර වලත් හා ශාක ගහනය බහුලව තිබෙන ගෙවතු සහ ඉඩම් වලද වාසය කරයි. නිශාචර  සර්ව භක්ෂක  සහ තනිව හැසිරෙන සත්ත්ව විශේෂයකි.

ශ්‍රී ලංකා වැසියන් මෙම සත්ත්ව විශේෂය “පැනි උගුඩුවා”, “සපුමල් කලවැද්දා”, “රන් හෝතඹුවා”, සහ “හෝතඹුවා” යන නම් වලින් හඳුන්වයි.. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ වැසියන් “මරනායි” යනුවෙන් හැඳින්වෙයි. පොදුවේ ගත්කළ මෙම සත්ත්ව විශේෂය  කලවැද්දා යනුවෙන් හඳුන්වයි.

දඬුලේනා

Grizzled giant squiral යන ඉංග්‍රීසි නමින් සහ Ratufa macroura යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී ලංකාවට ආවේනික මෙම සත්වයා  ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර වලත් හා මධ්‍ය කඳුකරයේ වනාන්තරවලත්   ජීවත් වෙයි. විශේෂයෙන් මධ්‍යම හා ඌව, පළාත්  බද වනාන්තරවල දක්නට ලැබේ.වඳවීයාමේ තර්ජනයට (Endengerd) (EN) ලක්වූ දඬු ලේනා ගේ සිරුර දැඩි  ඝන ලොම්වලින්  වැසි ඇත.  හොඳින් වැඩුණු දඬුලේනෙක්  සෙ.මී 25 ත් 45 ත් හෙවත් අඟල් 9.8 ත් 17.5 ත් අතර දිගකින් යුක්තවෙයි. එහෙත් වල්ගය පමණක් දිගින් සෙ.මී  50 ත් 90 ත් හෙවත් අඟල් 20 ත් 35 ත් අතර වෙයි.

සර්ව භක්ෂකයින් වන මොවුන්ගේ ආහාරයට පළතුරු, ධාන්‍ය වර්ග, කුඩා කෘමීන්, කුරුළු බිත්තර සහ ශාක පොතු වැනිදේ අයත්වෙයි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර, රිටිගල, මිහින්තලේ ,කන්ඩලම මාතලේ, වස්ගමුව හෝටන්තැන්න, යනාදි වියළි සහ කඳුකර ප්‍රදේශ වල වාසය කරයි. ශ්‍රී ලංකාවට අවේනික උප විශේෂය හැරුණු කොට දඬුලේනුන්ගේ තවත් විශේෂයක් දකුණු ඉන්දියාවෙ තිරුවල්ලා ප්‍රදේශයේත් හා නැගෙනහිර ගාත් ප්‍රදේශයේත් (Eastern Ghats) වාසය කරයි.

ඇලි වඳුරා

Tufted gray langur යන ඉංග්‍රීසි නමින් සහ Semnopithecus priam   යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී ලංකාවට ආවේනික මෙම ක්ෂීරපායි සත්වයා ප්‍රයිමේටා ඝනයට අයත්වෙයි. සිරුර අළු- සුදු පැහැයක් ගන්නා බැවින් මෙරට වැසියන් ඇලි වඳුරා යනුවෙන් හඳුන්වයි. ශ්‍රී  ලංකාවේ  අනුරාධපුරය පොළොන්නරුව, මිහින්තලේ,දඹුල්ල, සීගිරිය,යන පළාත් හැරුණු කොට හම්බන්තොට යාල ජාතික උද්‍යානය, තිස්සමහාරාමය සහ  කතරගම වැනි උතුරු -නැගෙනහිර පළාත් බද  වියළි කලාපයට පමණක් සීමාවී රංචුවශයෙන් ජීවත් වන මොවුන් වනාන්තර එළි පෙහෙළිවීම නිසා වඳවීයාමේ තර්ජනයට (Endengerd) (EN)  ලක්වීඇත.

සම්පූර්ණයෙන්ම ශාකමත යැපෙන ඇලි වඳුරෝ සෑම ශාකයක්ම ආහාරයට ගනී. එහෙත් ශාක භක්ෂකයකු වන කළු වඳුරාට හාත් පසින්ම වෙනස් වන ඇලි වඳුරා මිනිස් වාසයටද  ප්‍රිය කරයි.  සමහර අවස්ථාවලදී  ජලාශ්‍රිත ප්‍රදේශවල වැවෙන නෙළුම් ඕළු සහ මානෙල්  වැනි ජලජ ශාකවල මල් පොහොට්ටු ආහාරයට ගන්නා අවස්ථාද ඇත.

රංචු වශයෙන් ජීවත් වීමට ප්‍රිය කරන ඇලි වඳුරෝ රංචුවකට සාමාජිකයන් 20 ත් 30 අතර

ප්‍රමාණයක් සිටිති. හොඳින් වැඩුණු ඇලි වඳුරෙකුගේ  සිරුර දිගින් සෙ.මි 55ත් 70 ත් අතර ප්‍රමාණයක්  වන අතර වල්ගය පමණක් දිගින් සෙ.මී 75 ත් 90 ත් අතර වෙයි. බරින් කිලෝ ග්‍රෑම් 11ත් 20 ත් අතර වෙයි. වනාන්තර ප්‍රදේශවල ගැවසෙන බැවින් කොටියා සහ රාජාලියා, ඇලි වඳුරන්ගේ ප්‍රධාන සතුරන් වෙයි. මේ හැරුණු කොට ජලාශ්‍රිත ප්‍රදේශවල ගැවසෙන අවස්ථාවලදී කිඹුලන්ගේ සහ පිඹුරන් ගේ ගොදුරු බවට පත්වෙන අවස්ථාද තිබේ.

 

ඉත්තෑවා

Indian Crested Porcupine යන ඉංග්‍රීසි නමින් සහ Hystrix indica යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී  ලංකාවේ වනාන්තර ප්‍රදේශ වලත් හා  බඩවැටි සහ කුඩා පඳුරු සහිත  කෘෂිකාර්මික ගම්මාන වලත්  වාසය කරන ඉත්තෑවා වඳවීයාමේ දැඩි තර්ජනයට (Critically Endangerd)(CR) ලක්වූ  නිශාචර සත්ත්ව විශේෂයකි.  කෘන්තකයින්(Rodents) වන මොවුන්  ශ්‍රී  ලංකාව හැරුණු කොට බොහෝ දකුණු  ආසියානු රටවලත් සහ ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලත් වාසය කරයි. හොඳින් වැඩුණු ඉත්තෑවෙක් දිගින් මීටර් 0.9 ක් හෙවත් අඩි 3 ක් පමණ වන අතර, කිලෝ ග්‍රෑම් 14.5 හෙවත් රාත්තල් 32 ක් පමණ වෙයි.

ශාක මුල්, අලවර්ග යනාදිය ආහාරයට ගන්නා අතර මුඛයේ තිබෙන තියුණු මුවහත් කෘන්තක දත් වලින්  පැළ පොල් හපා ඉරා දමා පැළ මදය කෑමට රුසියෝය. වගා බිම්වල රාත්‍රී කාලයේ සැරිසරමින්  බෝග වර්ග ආහාරයට ගැනීම නිසා වගාබිම් පාළු  වන බැවින් ගොවියාගේ හතුරෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධය.

දහවල් කාලයේදී පොළොවේ හාරන ලද ගුලක හෝ ගස්මුල් බෙනයක හෝ යටටවී නිදාගන්නා ඉත්තෑවෝ  රාත්‍රී කාලයේ ආහාර සොයමින් ගැවසෙන කාලසීමා  හොඳින් දන්නා දඩයක් කරුවෝ ඉත්තෑවෝ මරා මස්කෑමට පුරුදුවී සිටිති. එබැවින්  කුඩා පඳුරු වනාන්තර හීනවීමත් දඩයක්කරුවන්ට ගොදුරු වීමත් නිසා ඉත්තෑවා  වඳවීයන සත්වයකු ලෙසට නම් කරඇත.

පුංචි ලේනා

Layard’s palm squirrel යන ඉංග්‍රීසි නමින් සහ Funambulus layardi  යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී ලංකාවට ආවේනික මේ ප්‍රමාණයෙන් කුඩා ක්ෂීරපායි සත්ත්වයා  කෘන්තකයෙකි.  මූකලන් ලේනා  යනුවෙන් ද හඳුන්වන  මේ සත්වයා   ත්‍රීකුණාමලය, සහ මාතර යහ දිස්ත්‍රික්ක වල සුළුවශයෙන් නිරීක්ෂණය කළ හැකි වුවත්  නකල්ස් කඳු වැටි පරිසරයේ බහිලව නිරීක්ෂණය කළ හැකිවෙයි. හොඳින් වැඩුණු මූකලන් ලේනෙක් වලිගය හැර ශරීරයේ දිග සෙ.මී. 12ත් 17ත් අතර ප්‍රමාණයක් වන් අතර වලිගය පමණක් දිගින් සෙ.මී . 14 ක් පමණ වෙයි. ශරීරයේ ලෝම වලට වඩා දිගින් වැඩි ලෝම  රාශියක් වලිගයේ පිහිටා ඇත. කළු දුඹුරු පැහැයෙන් යුත් තරමක ඝනකම් ලොම් වලින් ශරීරය වැසී ඇත. පිට මැද කහ පැහැති ඉරි තුනක් සහිතය.

ස්වාභාවිකව නිර්මාණය වුණු  වන ගහන සහිත පරිසර පද්ධති වලත්, ඝර්ම කලාපීය සහ උප ඝර්ම කලාපීය වනාන්තර වල මොවුන් ගේ පැතිරීම සිදුවෙයි. ශ්‍රීපාද අඩවිය,නකල්ස් කඳුවැටි, හෝටන් තැන්න  වැනි ශීත කඳුකර පරිසර පද්ධති වලින්ද මූකලන් ලේනුන් හෙවත් පුංචි ලේනුන් හමුවෙයි. සර්ව භක්ෂකයින් වන මොවුන් ගේ ආහාරයට පළතුරු වර්ග බහුලව අයත් වන අතර  ළපටි නොමේරූ මුල් වර්ගද අයත් වෙයි.  පිඹුරන් නාගයින් උකුස්සන්  කොළ දිවියන් කැළෑ බළලුන්  නරි යනාදී මාංශ භක්ෂකයින්  පුංචි ලේනුන්ගේ සතුරන් වෙයි. කැළෑ ඉඩම් ක්ෂය වීමත් හා  අහාර හිඟවීමත් නිසා  දිනෙන් දින මොවුන්ගේ ගහනයේ අඩුවීමක්  දක්නට ලැබේ එබැවින් වඳවීයාමේ තර්ජනයට (Endengerd) (EN)   ලක්වූ ජීවීන් කොටසක් ලෙස පුංචි ලේනුන් හඳුන්වයි.

 

කැළෑ හාවා (Rabbit or Hair) (Lepus nigricolis)

ශ්‍රී ලංකාවේ ස්වාභාවික  මහා වනාන්තර වලත්, කුඩා පඳුරු සහිත  වන ගහනය බහුල ගම්මාන වලත්, බොහෝ ගෙවතු වලත්,  විවෘත තණ පිටි වලත් සහ  කුඹුරුවල වාසය කරන   කැළෑ හාවා දීවීමේ සමත්  ශාක භක්ෂක ක්ෂීරපායි සත්ත්වයෙකි. හුදකලාව මෙන්ම රංචු වශයෙන්ද විසීමට  ප්‍රිය කරයි. වන ගත ගම්මාන සහ ගෙවතු විවෘත තණ පිටි  විනාශ වීමත් හා දඩයක් කරුවන්ගේ සහ ගොවීන්ගේ උගුල් වලට හසුවී මියයාම ශ්‍රී කෑළෑ හාවාගේ ගහණය අඩුවීමට  ප්‍රධාන හේතුවක් වී ඇත. එබැවින් ශ්‍රී ලංකා හාවා වසර 2012  රතු දත්ත වාර්තාවට අනුව වඳවී යාමේ අවදානමට ලක්වූ සත්ත්වයකු ලෙස නම් කර  ඇත.

 

ශ්‍රී ලංකාවේ වෙසෙන කුර සහිත සත්ත්වයින්

ශ්‍රී ලංකාවෙන් ක්ෂීරපායි වර්ගයට අයත් කුර සහිත හෙවත් සඛුරයන්  විශේෂ 15 ක් පමණ හමුවෙයි.  මෙම විශේෂ වලට  මුවන්, ගෝනුන්, ගවයන්, එළුවන්, බූරුවන්සහ බැටළුවන් අයත්වෙයි.  මේම කුර සහිත සත්ත්ව විශේෂ 15න් විශේෂ 2ක්  පෙරිසොඩක්ටයිලා ( Perissodactyla) ගෝත්‍රයටත් සහ සෙසු විශේෂ  13 ආර්ටියොඩක්ටයිලා (Artiodactyla) ගෝත්‍රයට අයත්වෙයි.  මේ වනවිට  අතීතයේදි ශ්‍රී ලංකාවේ ජීවත් වී මේවනවිට වඳවීගිය  කුර සහිත සත්ත්ව විශේෂ 5 ක් පමණ හඳුනාගෙන ඇත. නිදසුනක් ලෙස  ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත කඳුකර පරිසරයේ ජීවත්  අද වඳවී ගිය සත්ත්ව විශේෂයක් ලෙස හඳුන්වන ගවරා පෙන්වාදිය හැකිය.

අරාබි වෙළෙන්දන් අදින් සියවසකට පමණ පෙර ශ්‍රී ලංකාවට බූරුවන් හඳුන්වා දී ඇත.  පසුව මොවුන් දේෂීයකරණයට ලක්වී  වත්මන් ශ්‍රී ලංකාවේ වයඹ දිග  වෙරළ තීරවලට පමණක් සීමාවී ජීවත් වෙයි.  ශ්‍රී  ලංකාවට අයත්  ඩෙල්ෆ්ට් දූපතේ වෙසෙන   ඩෙල්ෆ්ට් අශ්වයන් මෑත අතීතයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසු දේශීය කරණයට ලක්වූ  අශ්ව වරිගයකි.

වසර 2012 රතු දත්ත වාර්තාවට අනුව  ශ්‍රී ලංකාවේ කුළු මීහරකා, ගෝනා, ගෝනමුවා, ඕළු මුවා හෙවත් වැලිමුවා සහ තිත්මුවා  යන් සත්ත්ව විශේෂ වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂලෙස නම්කර ඇත.  ශ්‍රී ලංකාවේ ජීවත් වන කුර සහිත පාද ඇති සත්ත්ව විශේෂ අතරින්  සර්විඩේ(Cervidae) කුලයට අයත් ගෝනා සහ ඕළු මුවා හෙවත් වැලිමුවා වන සත්ව සහ තුරුලතා ආඥාපනත යටතේ දැඩි ලෙස ආරක්ෂා කළ කළ යුතු සත්ත්ව විශේෂ ලෙසට නම්කර ඇත.

 

තිත් මුවා (Spotted Deer) (Axis axis)

ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර වලත වෙසෙන තිත්මුවා  ශාක භක්ෂක ක්ෂීරපායි සත්ත්වයෙකි. . යාල, වස්ගමුව , මාදුරු ඔය, ගල් ඔය, නිල්ගල, උඩවලව, විල්පත්තුව සහ  කවුඩුල්ල  වැනි වියළි කලාපීය  ජාතික වනෝද්‍යාන ආශ්‍රිත වනාන්තරවල පමණක් වසෙන තිත්මුවා රංචු වශයෙන් ජීවත් වීමට  ප්‍රිය කරයි.  මොවුන්ගේ ගහනයේ කිසියම්  වැඩිවීමක් පෙන්නුම් කළත්  දඩයක් කරුවන්ගේ වෙඩි උණ්ඩයට ලක්වී මියයන ප්‍රමාණයේ වර්ධනයක් පෙන්වයි. වනාන්තර පෙදෙස්  අඩුවීම නිසා ප්‍රමාණවත් ආහාර   සහ වාසස්ථාව නොලැබීම  මුවන්ගේ ජීවිත තර්ජනයට හේතුවක් වීඇත.  එබැවින් වසර 2012 රතු දත්ත වාර්තාවට අනුව ශ්‍රී  ලංකා තිත්මුවා (Sri Lanka Spotted Dear) වඳවීයාමේ තර්ජනයට ලක්වූ සත්ත්වයකු ලෙස නම්කර ඇත. එක මුව රන්චුවකට සාමාජිකයින් 10 සිට 50 ක් වනි ප්‍රමාණයක් අයත් වෙයි.

මීමින්නා (Mouse Deer) (Moschiola meeminna)

ශ්‍රී ලංකාවෙන් මී මින්නන් විශේෂ දෙකක් හමුවෙයි.  සුදු තිත් සහිත වියළි කලාපීය  මීමින්නා(Moschiola meeminna) සහ කහ ඉරි සහිත තෙත් කලාපීය මීමින්නා(Moschiola kathygre) යනු එම විශේෂ දෙකයි.කුඩා මුවෙකුගේ පෙනුමක් තිබුණත් හා කුර සහිත පාද තිබුණත්  මොවුන් සත්‍ය මුව කාණ්ඩයට අයත් නොවේ. දිගු සිහින් පාද ඇත. හුදකලාව වාසය කිරීමට ප්‍රිය කරයි  නිශාචර (Noctanal) සත්ත්වයෙකි.  මහා වනාන්තරවලත් හා කුඩා හෝ වන ලැහැබ් සහිත ගම්මාන වලත්  වාසය කරයි. වාසස්ථාන අහිමිවීම සහ   දඩයක් කරුවන්ගේ   ගොදුරට ලක්වීම මොවුන්ගේ වඳවීමට හේතුවකි. වසර 2012 රතු දත්ත වාර්තාවට අනුව මීමින්නා වඳවීයාමේ තර්ජනයට ලක්වීඇති සත්ත්වයකු ලෙස පිළිගැණේ.

වැලිමුවා(Barking Deer) (Muntiacus muntjak)

මොවුන් ඕළුමුවා යනුවෙන්ද හැඳින්වෙයි. ශ්‍රී ලංකාවෙන් හමුවන මුවන්හේ ආදිතම  මුව විශේෂය  ඕළු මුවන් හෙවත් වැලි මුවන් බැව් තහවුරු වීඇත. දිවයිනේ  බොහෝ වනාන්තර ප්‍රදේශවල වෙසෙන  ඕළු මුවන් ගේ සම රතු පැහැතිය.  ගෙල පෙදෙස තද රතු පැහැයක් ගනී.  හිසේ තිබෙන අං  ප්‍රමාණයෙන් කුඩාය අංකුර මට්ටමක පවතී. හුදකලාව ප්‍රියකරන ශාක භක්ෂක ක්ෂීරපායී සත්ත්වයෙකි.  වනාන්තර එළිපෙහෙළි වීමත්  දඩයක් කරුවන්ගේ ගොදුරු බවට පත්වීමත් ඕළු මුවන් වඳවීයාමේ අවධානමට(Vurnarable)(VU) ලක්වූ සත්ත්ව  විශේෂයක් ලෙසට වසර 2012 රතු දත්ත වාර්තාව පෙන්වා දෙයි.

ගෝන මුවා (Hog Deer)(Axis pornicus)

විල් මුවා යනුවෙන් හැඳින්වෙන ගෝන මුවා ශරීර වර්ණයෙන් ගෝනෙකුට හා සමාන වුවත්  ශරීර ප්‍රමාණයෙන් ගෝනෙකුට වඩා කුඩාය. ශරීරය කෙටි තරබාරු ස්වභාවයක් ගනී.   මුව විශේෂ අතුරින් ඉතාමත් දුර්ලභ විශේෂයද මෙයයි. දිවීමේදී කෙටි වල්ගය ඉහළට ඔසවා ගනී.  වල්ගයේ යටි පැත්ත සුදු පැහැයක් ගනී. හුදකලාව ජීවත්වීමට ප්‍රිය කරයි.   අදින් වසර 50 කට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් වඳවී ගිය බවට හැඟීමක් තිබුණද   ශ්‍රී  ලංකාවේ ඉතාමත් සීමිත ප්‍රදේශයක වෙසෙන බවට තොරතුරු හෙළිදරව් වී ඇත. එබැවින් වසර 2012 රතු දත්ත වාර්තාවට අනුව ගෝනමුවා වඳවීයාමේ දැඩි තර්ජනයට (Critically Endandered)(CR)ලක්වූ  සත්ත්වයකු ලෙසට නම්කර ඇත.

කුළු මීහරකා (Wild buffalo)( Bubalus arnee)

ශ්‍රී ලංකාවේ මහා වනාන්තර ප්‍රදේශවල වාසය කරන කුළු මීහරකා   කෘෂිකර්මාන්ත කටයුතු සඳහා යොදාගන්නා හීලෑ මීහරකාගේ ආදිතමයා වෙයි. ශාක භක්ෂක ක්ෂීරපායි සත්ත්වයකු මෙන්ම දැඩි ආක්‍රමණශීලි දරුණු සත්ත්වයකු වන  කුළු මීහරකා  ශරීර වර්ණයෙන් අළු කළු පැහැයක් ගනී.  පුළුල්ව  දෙපසට විහිදුණු අංතට්ටුවක් තිබීම  හඳුනා ගැනීමට පහසු ලක්ෂණයකි.  රංචු වශයෙන් ජීවත් වන කුළුහරකා ගේ ශරීරය අධික උෂ්ණාධික ස්වභාවයක් ගන්නා බැවින් දවල් කාලයේ  වැඩි වේලාවක්  මඩ වගුරක ලැගීම  සාමන්‍ය සිරිතකි. දඩයක් කරුවන්ගේ  වෙඩි උණ්ඩයට නිතරම ලක්වන බැවින්  වසර 2012 රතු දත්ත  වාර්තාවට අනුව කුළු හරකා වඳවීයාමේ අවදානමට (Vurnarable)(VU)  ලක්වූ v සත්ත්වයකු ලෙස නම් කර ඇත. .

ගෝනා(Sambardee) (Rusa unicolor)

ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර වලත් සහ ඉහළ කඳුකර වනාන්තර වලත් වෙසෙන ගෝනා   ශාක භක්ෂක ගෝනා මුව කුලේ විශාලම සාමාජිකයෙකි. යාල වස්ගමුව  මාදුරු ඔය, ගල් ඔය නිල්ගල වැනි වියළි කලාපීය  ජාතික වනෝද්‍යාන ආශ්‍රිත වනාන්තරවල  වෙසෙන ගෝනා අළු පැහැයක්  ගන්නා අතර   හෝටන් තැන්න, නුවර එළිය  නකල්ස්  වැනි ඉහළ කඳුකර වනන්තර වල වෙසෙන ගෝනා කළු පැහැයට හුරු අළු පැහැයක් ගනී.  හිරු උදාවීමට පෙර   උදැසන කාලයේත්  සහ අඳුර වැටීමෙන් පසු උදාවන  රාත්‍රී කාලයේත්   වඩාත් ක්‍රියාකාරිවන   ගෝනා දහවල උදාවීමත් සමගම තුරු සෙවනකට වී ලැගුම්ගෙන  ගෙන ගිමන් හරියි. වියළි කලාපීය වනාන්තර වල වෙසෙන ගෝනුන්  බොහෝ විට හුදකලාව වාසය කළත්  හෝටන්තැන්නේ වෙසෙන ගෝනුන්  සාමාජිකයින් 20 හෝ 30 වැනි ප්‍රමාණයක් සහිත රංචු  ආකාරයට ජීවත් වීමට ප්‍රිය කරයි. ජලාශ්‍රිත ප්‍රදේශවල විසීමට වඩාත් ප්‍රිය කරයි. දක්ෂ පිහිනුම් කරුවෙකි.

හොඳින් වැඩුණු ගෝනෙක් උසින් (පෙර පාදයේ සිට උරහිස දක්වා උස) මීටර් 2.8 ත් මීටර් 4 ත් අතර ප්‍රමාණයක් වන අතර. බරින් කිලෝ ග්‍රෑම් 546 ක් පමණවෙයි. හිසේ සිට වල්ගය දක්වා සිරුරේ දිග මීටර් 1.62 ත් මීටර් 2.7ත් අතරවෙයි. වල්ගය පමණක් සෙන්ටි මීටර් 22ත් 35 ත් අතර දිගකින් යුක්තය.අළු පැහැයේ සිට තද අඳුරු අළු පැහැය දක්වා  වෙනස් වන පැහැයක් සහිත ඝන ලොම් වලින් පිරුණු සිරුරක් සහ දැඩි ඝන විශාල අං තට්ටුවක් හිමි ගෝනා  දඩයක් කරුවන්ගේ වෙඩි පහරටත් හා  උගුල් වලට හසුවී මිය යාම  උන් වඳවී යාමට හේතුවක් වීඇත.  වසර 2012 රතු දත්ත වාර්තාවට අනුව  වඳවීයාමේ ආසන්නයට(Near Threatened) (NT) පැමිණි සත්ත්වයකු ලෙසටද ගෝනා හැඳින්වෙයි.

වල් ඌරා (Wild Bour) (Sus scrofa)

ශ්‍රී ලංකාවේ කඳුකර සහ පහත රට වියළි කලාපීය වනාන්තර වලත් , බොහෝ ගම්මාන ආශ්‍රිත වනගත ප්‍රදේශ වලත් රංචු වශයෙන් ජීවත් වන වල් ඌරා  කළු පැහැති  සහ ශරීරයක් හිමි ප්‍රමාණයෙන් කුඩාවු සත්ත්ව විශේෂයකි.  වර්තමාන හීලෑ ඌරන්  වල් ඌරන් ගෙන් සම්භවය වීයැයි  මතයක්  පවතී.  වල් ඌරන්ගේ මුඛය ඉදිරිපස  දෙපස තිබෙන දළ දෙකෙන් සතුරාට පහදී සතුරා මෙල්ල කිරීමට තරම් දක්ෂතාවක් වල් ඌරාට ඇත.  අල වර්ග  වල් ඌරාගේ ප්‍රධාන ආහාරය වෙයි. උපත ලබන විට වල් ඌරු පැටවුන්ගේ සිරුර කළු පසුබිමේ  කහ පැහැති තිත් සහ ඉරි වලින් යුක්තය. ඉපදි දින කීපයක් යනවිට  කහ පැහැති තිත් සහ ඉරි මැකී ගොස් ක්‍රමයෙන් කළු පැහැයට හැරෙයි

ඩෙල්ෆ්ට් අශ්වයා (Delft Horse)(Equus caballus–  delft type )

ඡායාරුපය – අනිල් විතානගේ

ශ්‍රී ලංකාවේ ඕලන්ද පාලන සමයේදී   ඩෙල්ෆ්ට් දූපතට ගෙන්වන ලද  අශ්වයන්  (බොහෝ දෙනා පෝනියන් යනුවෙන්ද හඳුන්වයි) එකල   වැසියන් සහ දූපත් පාලකයින්  විවිධ වැඩ කටයුතු සඳහා යොදවා ගන්නට ඇත.  ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ ඩෙල්ෆ්ට් දූපතේ එකල අශ්වයන් පුහුණු කළ ස්ථාන  සහ උන් රඳවා සිටි ස්ථාන අදත් එහි දක්නට ලැබිමයි.  කෙසේ වෙතත් පරපුරු ගණනාවක් නොනැසි පැවත ආ මේ අශ්වයන් වර්තමානයේ වල් දර්ශයක් (Wild Type) බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවට අයත්  සුවිශේෂී සත්ත්ව  විශේෂයක් වුවත් සංරක්ෂණයක් නොමැති කමින්  වඳවී යාමේ අවදානමට ලක්වි ඇත.

පුත්තලම් බූරුවා (Donkey or Ass) (Equus africanus asinus),

ඉතාමත් ශක්ති සම්පන්න සත්ත්ව විශේෂයක් වන  කැලෑ බූරුවන්  අප්‍රිකාව, ආසියාව යන මහද්වීප ආශ්‍රිත රටවල වාසය කරයි. ක්‍රි :පූ: 3000 පෙර අප්‍රිකානු බූරුවන් අරාබි වෙළෙන්දන් විසින් හීලෑ කිරීම නිසා උන් මිනිසාගේ විවිධ කටයුතු සඳහා යොදාගන්නා ලදී.  සියවස් ගණනාවකට පෙර අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී  ලංකාවට බූරුවන් හඳුන්වා දෙන ලද බව අතීත තොරතුරු වලින් පෙන්වාදෙයි.  එයින් පසු ඔවුන්ගෙන් පැවතෙන කුඩා කණ්ඩායමක්  වර්තමානයේ ශ්‍රී  ලංකාවේ වයඹ දිග වෙරළ අශ්‍රිත ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වෙයි.  වමේ වනවිට ශ්‍රී  ලංකා වාසී සත්ත්ව   විශේෂයක් බවට පරිවර්තනය වී සිටන බූරුවන්  කිසිදු ආරක්ෂාවක් නොමැතිව නිදැල්ලේ හැසිරීම නිසා වාහන වල හැපී මිය යාම උන්ගේ ගහනයේ අඩුවීමට හේතුවක් වී ඇත. එබැවින්  රතු දත්ත වාර්තාවට අනුව  ආරක්ෂා කළ යුතු සත්ත්ව විශේෂයක් ලෙසට නම් කර ඇත.

 

%d bloggers like this: