වසර 2020 දී ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකරමු

අමල් උඩවත්ත

ජල භීතිකාව මිනිසුන්ට මෙන්ම සතුන්ටද බෝවෙන් රෝගයකි. සියයට සියයක්ම මාරාන්තික රෝගයක් වන ජලභීතිකාව (Rabis) ගෘහාශ්‍රිත  සහ වනසතුන් යන කාණ්ඩ දෙකටම අයත් සතුන්ට  ආසාදනය විහැකි වෛරස රෝගයකි.  බොහෝ දෙනා  මෙය බල්ලන්ගෙන් පමණක් මිනිසාට බෝවෙන රෝගයක්  කියා සිතුවත්  බළලුන්, මුගටියන්, කලවැද්දන් ,උගුඩුවන්, හෝතඹුවන්,  වැනි කැළෑ සතුන්ගෙන්ද  මිනිසාට බෝවිය හැකි අවස්ථා තිබෙන බැව් වත්මන් සමීක්ෂණ වලින්  හෙළිදරව් වී තිබේ.  සාමාන්‍යයෙන් මිනිසාට ජල භීතිකාව බහුලව බෝවන්නේ  බල්ලන් ගෙන් බැව් අපි හොඳින් දනිමු.  ගෘහාශ්‍රිත  හෝ නිදැල්ලේ යන බල්ලෙකුට ජල භීතිකා වෛරසය ශරීර ගතවුණු මුගටියෙක් හෝ කළවැද්දෙක් හෝ වැනි කැළෑ සතෙක් සපා කෑමෙන්  බල්ලන්ගේ ශරීර ගතවන ජලභීතිකා වෛරසය නිසා උන්ට ජලභීතිකාව බෝවිය හැක. එසේ වුවත්  සතුන් අතර පැතිරෙන ජලභීතිකාව සියයට 88 (88%) ක් පමණ  බල්ලන් අතර පැවතීමට හේතුව  සතුන්ට වඩා බල්ලන්ගේ ගහනයේ වර්ධනයක් රට තුළ තිබීමය.

ජලභීතිකාව  මිනිසාට සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රධාන වාහකයා බල්ලා වන අතර බල්ලන්ට මෙන්ම කලාතුරකින් හෝ  මිනිසුන්ට  කලින් සඳහන් ජලභීතිකා වෛරස ආසාදිත කැළෑ සතුන් සපා කෑමෙන්   ජල භීතිකා වෛරසය ශරීර ගතවිය හැකිය.

ලොව පුරා වාර්ෂිකව ජලභීතිකාව වැළඳීමෙන් රෝගීන් 55,000 ක් පමණ මියයති. ශ්‍රී ලංකාවේ පමණක් වසර 1973 දී  ජලභීතිකා රෝගීන් 377 ක් මිය ගිය අතර  එය වසර 2015 වනවිට 24 ක් දක්වා අඩුවී ඇත.  වසර 2016 සැප්තැම්බර් මස වනවිට වාර්තාවූ මරණ සංඛ්‍යාව 12 කි. දැනට ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 21 කට ආසන්න වනවිට  බල්ලන්ගේ ගහණය මිලියන් 3ක් දක්වා වැඩිවී ඇත.  මෙයින්  වසරකට  මිලියන 1.5  පමණ බල්ලන් ප්‍රමාණයකට එන්නත් ලබාදෙන අතර  150,000 ක් වඳ සැත්කමට භාජනය කරයි.  මෙයින් පැහැදිළිවන  කරුණක් නම් ශ්‍රී  ලංකාවෙන්  ජල භීතිකාව තුරන් වීමෙ අවධානමක් තිබුණත්  කැළෑ සතුන්  අතර තවමත් ජල  භීතිකාව පැවතීම  ඊට කිසියම් බාධාවක් ගෙන දෙන බවයි.

ජලභීතිකාවෙන් ආරක්ෂාවන්නේ කෙසේද

1) විදිමත් ලෙස ජලභීතිකා  එන්නත්  ලබා දුන් සුනඛ ගැහැනු සතෙකුගේ පැටවුන් ලබා ඇති කර ගැනීම.

2) නොහඳුනන බලු පැටවුන්ගේ ශරීරයේ බොහෝවිට  ජලභීතිකා වෛරසය  තිබිය හැකි  බැවින්  එවන් පැටවකු ඇති කිරීමට  ගන්නේනම් නියමිත එන්නත් ලබාදී මාසයක් පමණ වෙන්කර තබන්න

3) පළමු එන්නත ඉපදී සති 4 ත් 6 අතර කාල සීමාවකින්ද,දෙවැනි එන්නත ඉපදී සති 12 ත් 14 අතර කාල සීමාවකදී ලබාදිය යුතුය.

4)  සුනඛයා කෙනෙකු සපාකෑවොත්  වෛද්‍යවරයාට  ඉදිරිපත් කිරීම සඳහා  එම එන්නත් වාර්තාව ප්‍රවේශමෙන්  ලඟ තබා ගන්න

සපා කැම් වළක්වා ගන්නේ කෙසේද

1) විශ්වාස නිවසක හදන බල්ලෙකු හෝ බළලෙකු හැරුණු කොට  අනෙක් නොහඳුනන සතුන්  දුටුවිට මගහැර යැම.

2) නිවසකට යාමේදී  බල්ලන් පිළිඹඳව විමසිළිමත් වීම.

3) සපා කන බල්ලන් සිටීනම් උන්ට කට කලියාවක් පැළඳවීම.

4) බල්ලෙකු දුටුවිට  දිවීම, උන්ට උසුළු විසුළු කිරීම, අතපය වැනීම වැනි දේ නොකිරීමට වග බලා ගැනීම.

5) බල්ලන් ආහාර ගන්නා විටත් හා පැටවුන් රැක බලා ගන්නා විටත්  ලඟට නොයෑමට වග බලා ගැනීම.

6) නිදැල්ලේ දඩාවතේ යන බල්ලන් හා බළලුන්  අතපත ගා සුරතල් කිරීමෙන් වැළකීම.

7) තැන තැන කැළි කසළ දැමීම දඩාවතේ යන බල්ලන්ගේ ගැවසීම  සහ උන්ගේ බෝවීම වැඩිවීමට හේතුවක් වන බැවින්  තැන තැන කැළි කසළ දැමීමෙන් වැළකීම.

සුනඛයෙක් හෝ කැළෑ සතෙක් සපා කෑවිට  කළ යුත්තේ කුමක්ද.

1 ) සපා කෑ ස්ථානය සබන් ගා  ගලායන ජලයෙන් විනාඩි 10 ක් පමණ  සෝදන්න.

2 ) විෂබීජ නාශකයක් තිබේනම් එයින්ද සෝදා හරින්න.

3) ලඟම තිබෙන රජයේ රෝහලට ගොස් උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න.

4) රෝහලට යනවිට සුනඛයාට එන්නත් ලබාදුන් වාර්තාව රැගෙන යන්න.

5) සතාගේ හැසිරීමේ වෙනසක් හෝ රෝගී ස්වභාවයක් හෝ දුටුවොත් හෝ මරණය  සිදුවූවොත්  වහාම අදාළ වෛද්‍යවරයාට දන්වා  උපදෙස් ලබාගන්න.

කොළඹ 8 කිංසි පාරේ සෞඛ්‍ය  අධ්‍යාපන කර්යාංශයේ පැවති  දේශන ඇසුරෙන් කෙරිණි.

 

%d bloggers like this: