ශ්‍රී ලංකාවේ පැරණිම වන රක්ෂිතය හුරුළු කැළේ

අමල්උඩවත්ත

මෙතෙක් ශ්‍රීලංකාව තුළ ප්‍රකාශයට පත් කර තිබෙන වන රක්ෂිත අතරින්  පැරණිම වන රක්ෂිතය වන හුරුළු කැළේ රක්ෂිතය  වසර 1942 නොවැම්බර් 20 වන දින අංක 9034 දරණ ගැසට් පත්‍රය මගින්  රක්ෂිත වනාන්තරයක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලදී. මේ සඳහා වෙන්කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 2135 කි. ඉන් පසු  වසර 1969 දී මෙම වන රක්ෂිතය  අන්තර් ජාතික මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙසට යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙහි තිබෙන  සුවිශේෂී පාරිසරික වටිනාකම්  අගය කරමිනි. මෙම වන රක්ෂිතයට අයත්  හෙක්ටයාර 8000 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව  යටතේ  පාරිසරික උද්‍යානයක් ලෙසට  නම් කර ඇත. කල් ගතවීමත් සමගම වසර 2006 දී නිල නොවන අයුරින්  ආරම්භ වුවත් පසුව වසර 2008 පෙබරවාරි 26 වන් දින මෙම භූමිය වන රක්ෂිතයක් ලෙසට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

පිහිටීම

හුරුළු කැළේ රක්ෂිතය පරිපාලනමය වශයෙන් පොළොන්නරුව, අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌ක තුනටම අයත්වේ. . හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශය යටතට හුරුළු පාරිසරික උද්‍යානය ඇතුළත් වුවත්, හුරුළු රක්‍ෂිතය ඉන් ඔබ්බට පැතිර පවතී. භූගෝලීය වශයෙන් ගත් කළ මෙම  හුරුළු කැළේ රක්ෂිතය උතුරු අක්ෂාංශ අංශක 8 කලා12 විකලා 36 ත්  හා නැගෙනහිර දේශාංශ අංශක 80, කලා 50 ,විකලා 59 ත් අතර පිහිටා තිබේ.

මායිම්

උතුරින් හතරැස්‌ කොටුව සහ හල්මිල්ලෑව ගම්මානය දක්‌වා දිවෙන මාර්ගයත් එනම් ආනඋලන්දාව රක්‍ෂිතයත්, නැගෙනහිරින් හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයත්  එනම්  ගල්ඔය රක්‍ෂිතයත්, දකුණින් හබරණ – පලූගස්‌වැව දුම්රිය මාර්ගයත් සහ බටහිරින් අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මායිමත් හුරුළු රක්ෂිතයට මායිම් වී තිබේ.

ප්‍රවේශ මාර්ග

1) කොළඹ  කුරුණැගල  ඔස්සේ  අනුරාධපුරයට පැමිණ , මාතලේ හන්දියෙන් දකුණට හැරී  ගල්කුලම, තිරප්පනේ, බුලන්කුලම, මරදන්කඩවල, ගනේවල් පොල හන්දියෙන් වමට තිබෙන මාර්ගය ඔස්සේ මුරියන්කඩවල,  යකල්ල ගලෙන්බිඳුණු වැව හරහා  හුරුළු කැළේ රක්ෂිතයට පැමිණිය හැක.

2) කොළඹ සිට දඹුල්ල – හබරණ හරහාද, මහනුවර සිට දඹුල්ල ඔස්‌සේද, හුරුළු හුරුළු කැළේ රක්ෂිතයට ළඟාවිය හැකිය.

භෞතිකලක්‍ෂණ

වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ස්වභාවයක් ගන්නා අතර තැනිතලා භූමියකින් සමන්විත හුරුළු කැළේ රක්‍ෂිතය තුළ වෙනත් වනෝද්‍යාන වල මෙන් උස්‌ කඳුවැටි දක්නට නැත. එහෙත් තැන තැන හුදෙකලා ගල්කඳු හා පර්වත දක්‌නට ලැබේ. හෙක්‌ටයාර් 23000 කින් පමණ සමන්විත මුළු බිම් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණය  වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වලින් සමන්විතය. කටු ලැහැබ, තණ පිටි සහ වගුරු බිම් දක්නට ලැබේ. ඒ හැරෙන්නට යාන්ඔය දෙපස ගංගාධාර වනාන්තර දැකගත හැකිය. ගල්පර ආශ්‍රිතව ගල්ලෙන් හා ශාක ප්‍රජාවක් දක්‌නට ලැබේ.
සුවිශේෂි ලක්ෂණ වලින් පිරිපුන් හුරුළු කැළේ  පාරිසරික උද්‍යානය තුළ කොඩිගල කන්ද, හල්මිල්ලෑව කන්ද, තෝනිගල, මාරිගල, මොරකන්ද, බැලුම්ගල වැනි ශේෂ කඳු කීපයක්  දක්නට ලැබේ. දෙමට වැව, මහසෙන් වැව, ඉළුක් වැව යන ගරා වැටි අබලන් වුණු වැව් කීපයක් වෙයි මෙම රක්ෂිතයේ මායිමේ පිහිටි ප්‍රධාන වැව හුරුළු  වැවයි. හුරුළු  කැළේ රක්ෂිතයේ විශේෂ ලක්ෂණය නම්  රිටිගල, මින්නේරිය සහ කවුඩුල්ල වනෝද්‍යාන යා කෙරෙන අලින්ගේ ප්‍රධාන ගමන් මාර්ගයක් හෙවත් අලි මංකඩක්  හුරුළු කැළේ රක්ෂිතය තුළින් පිහිටා තිබීමය.

ඓතිහාසික තොරතුරු

මහසෙන් රජුගේ සමයේදී  එනම් ක්‍රිස්‌තු පූර්ව පස්‌වැනි සියවසේදී  හුරුළු කැළේ රක්‍ෂිත ප්‍රදේශය ජනාවාස පැවැති බවට සාධක හමුවේ. හුරුළු වැව කේන්ද්‍ර කර ඇරඹි මෙම ජනාවාස නිසා මෙරට කෘෂි කාර්මික සහ පාරිසරික ප්‍රබෝධයක් ඇතිවූ බවට ඉතිහාස ගත තොරතුරු වලින් පෙන්වාදෙයි.  එසේම  එදා මෙම ප්‍රදේශය සාර්ථක බොදු පුනරුදයකින් අලංකාරවූ තිබුණු බැව අදටත් මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන කටාරම් කෙටූ ගල් ලෙන් වලින් හා ආරාම වලින් පෙන්වාදයි. වත්මන් වළස්‌ලෙන කඳවුරු බිම පවතින ප්‍රදේශයද මෙවන් ප්‍රදේශයකි. ගල් කඳුවලින් සමන්විත මෙම ප්‍රදේශයේ ගල්ලෙන් රැසක්‌ දක්‌නට ලැබේ. කටාරම් වලින් සමන්විත මේවායේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වැඩසිටි බවට ජනප්‍රවාද පෙන්වා දෙයි. තල්ගෙඩි කන්ද වන සෙනසුන හා ඊට යාබදව තිබෙන පැරණි නටබුන් හා ගල්ලෙන් යනාදියද මේ සඳහා තවත් සාධක වෙයි. කටුවැල්ගොඩ පවතින විහාර නටබුන්ද, ඊට යාබද ගල්ගුහා සහ පොකුණ‌ද අතීත ස්මාරක ලෙස හඳුනාගත හැකිය.

ශාක ප්‍රජාව

වියළි කලාපීය වනාන්තරයක් වන මෙහි වියළි මිශ්‍ර සදා හරිත  වනාන්තර(Dry Mixed Evergreen Forest) ස්වභාවයක් දක්නට ලැබේ. හෙන් වගා ඉඩම්  තණබිම් (Grass Land),  සහ තෙත්බිම්(Wet Land) පිහිටා ඇත බුරුත,(Chloroxylon swietania) මිල්ල (Vitex pinnata),පලු(Mnilkara hexandra), දිවුල්(Feronia limonia),  වීර(Drypetes seperia) ,කොහොඹ(Azadirachta indika), කුඹුක්(Terminalia arjuna) සියඹලා(Tamarindus indica), හල් මිල්ල(Barriaya cordifolia)  බෝ(Ficus riligiosa) වැනි මහා ශාක විශේෂ රැසක්  මෙම ජාතික වනෝද්‍යානයෙන් හමුවෙයි. ලඳු කැළෑ ආශ්‍රිතව රණවරා(Cassia auriculata), මලිත්තන් (Salvadora persica)කරඹ( Cassia spinarum), කුකුරුමාන්(Randia dumetorum), මස්බැද්ද (Gymnema sylvestre) තෙළඹු ( Sterculia foctida),  කූරටිය( Memecylon  arnottianum)  කටු පුරුක් (Dipterochanthus patalus)  උල් කෙන්ද(Polyalthea korinti),  කිරීකෝන් ( Walsura piscidia) සහ කැප්පෙටියා(Croton laceifer), යන ශාක වෙයි. වියළි කලාපීය වනාන්තරවල දැකිය හැකි  වල් ඉඳි ( Phoenix zelanica) යන ශාක විශේෂද දක්නට ලැබේ.

සත්ත්ව ප්‍රජාව

වන අලින්ගේ රජ දහනක් වන  හුරුළු කැළේ රක්ෂිතයේ  වරකට අලි ඇතුන් 200 ක් පමණ දැක ගත හැකිය. ඒ හැරුණු කොට කොටියා(Penthera pardus kotiya), කොළ දිවියා (Felis viverinus), වල් බළලා  (Files chaus kelartii),  වලහා (Melurus ursinus), ගෝනා (Cervus unicolor), තිත් මුවා (Axis axis),කුළු හරකා (Bubalus bubalis), උන හපුළුවා(Loris tradigradus), නරියා (Canis aureus),   මිමින්නා (Tragulis meminna), වල් ඌරා(Sus scrofa), හාවා(Lepas nigricolis), උරුලෑවා(Vivericula indica),  කබල් ඈයා( Manis crassicodata),  ඉත්තැවා(Histric indika),  උණ හපුළුවා(Loris tradigradus),  දඬුලේනා (Ratufa macroura), හෝතඹුවා (Herpestes smithii) ශ්‍රී ලංකා රන් කලවැද්දා(Paradoxurus stenascephalus), රන් මුගටියා(Paradoxurus ceylonensis) වැනි සත්ත්ව විශේෂ ගණනාවක් හමුවෙයි

උරග විශේෂ

වියළි කලාපයේ හමුවන සියලුම උරග විශේෂ හුරුළු කැළේ රක්ෂිතයෙන් හමුවෙයි. ඒ අනුව වල් ගැරඬියා(Argyrogena faciolaata), පලා පොළඟා (Frimerasurus trigonocephalus), තිත් පොළඟා( Daboia pulchera),දෙපත් නයා(Ceylendrophis maculatus), ගැට කරවලා  (Dryocalamus nympha),  නයා(Naja naja) , අහර කුක්කා (Amphies stolatum)  පිඹුරා (Python molurus) ,මුදු කරවලා ( Bangarus ceylonensis), ඇහැටුල්ලා (Ahetulla nautus) සහ ලේ මාපිලා (Boiga forsteni) යන උරග විශේෂ රැසක්  වාර්තාවෙයි. ඊට අමතරව යක් හූනා(Gekoella vukhuna), හුඹස් හූනා(Hemiductylus triedus), තොල විසිතුරු කටුස්සා(Callotes ceylonocus), පිනුම් කටුස්සා(Otocripis wiegmanni) හිකනලුන්, කබරයා, තලගොයා ඇතුළු සිව්පා උරගුන්ද, රැසක්‌ වාර්තා වේ.

පක්ෂි විශේෂ

වියළි කලාපීය වනාන්තරවල හමුවන් සියලුම පක්ෂින් මෙම හුරුළු කැළේ රක්ෂිතයේ දැක ගත හැකිය. මෙම පක්ෂි විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේනික හබන් කුකුළා(Galloperdrix bica), වළි (Gallus lafayetii), ගිරා මලිත්තා(Loriculus bertllinus) වත රතු මල් කොහා(Phaenicophaeus pyrrhoesphalus), අළු කෑදැත්තා(Ocyeros gingulunss), මල් කොට්ටෝරුවා(Megalamia rubricapilla), මුදුන් බොර දෙමළිච්චා(Pellorneum fuscocapillum), යන පක්ෂි විශේෂ හැරුණු කොට පොළොස් කොට්ටෝරුවා( Magalamia zeylanica), හිස කළු කොණ්ඩයා(Hypsipetes metanicetrus)  කොණ්ඩ කුරුල්ලා(Pycnonotus cafer), මොනරා(Pavo cristatus), හ කවුඩා( Dicrunus caerulesceus) යන පක්ෂි විශේෂ  රැසක් වාර්තාවෙයි. වැව් ආශ්‍රිතව මහ සුදු කොකා (Casmerodius albus), විවර තුඩුවා(Anastomus oscitans), කරවැල් කොකා (Ardea purpurea), සුදු මැදි කොකා(Mesophoyx intermedia) දිය කාවා , කිතලා(Porphyrio porphyria),කිරලා(Venellus malabaricus)මෙන්ම කොරවක්‌කා(Amaurornis phoenicurus) වාර්තා වේ

 

හුරුළු කැළේ යනු ඓතිහාසික පාරිසරික  මෙන්ම පුරා විද්‍යාත්මක යනාදී වශයෙන්  වටිනා කම් රැසක්  සඟවාගත්  සිවිශේෂි පරිසර පද්ධතියකි. ශ්‍රී ලංකාවේ වෙනත් වනාන්තර  පරිසරයට සිදුවෙන සියලුම හානි මෙම වන රක්ෂිතයටද සිදුවන බැව් රහසක් නොවේ. වන රක්ෂිතයේ  වෙසෙන සමනල විශේෂ,  කෘමි විශේෂ සහ ශාක විශේෂ පිළිබඳව  විදිමත් අධ්‍යයනයක් කර නොතිබීම  මෙම රක්ෂිතයේ  සංරක්ෂණයට බාධාවකි.

Be the first to comment on "ශ්‍රී ලංකාවේ පැරණිම වන රක්ෂිතය හුරුළු කැළේ"

Leave a Reply

%d bloggers like this: