‘ස්ත්‍රීන්ගේ සුෂුම්නා තරල සාරය සොරකම් කරන’ පාකිස්තාන් කල්ලියක් අල්ලයි

GETTY IMAGES සුෂුම්නා තරල සාරයත් සොරකම් කරයි

කාන්තාවන්ගේ සුෂුම්නා තරල සාරය සොරකම් කළ පුද්ගලයන් සිව්දෙනක් පාකිස්තාන් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුවෙන් මුදල් ආධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබීම සඳහා ලේ සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බව සැකකරුවන් ඊට ගොදුරු වූ කාන්තාවන්ට පවසා ඇති බව පොලීසිය බීබීසී ‘උර්දු ‘සේවයට පවසා ඇත.

කෙසේ වුවද, ඔවුන් සුෂුම්නා තරල සාරය සොරාගෙන නීති විරෝධී ආකාරයට වෙළඳ පොළේ අළෙවි කිරීමට උත්සාහ දරා ඇති බවත් පොලීසිය පවසයි.

ඉහත කී කල්ලිය යොවුන් තරුණියක් ද ඇතුළු කාන්තාවන් දොළොස් දෙනකුගේ පමණ සුෂුම්නා තරල සාරය සොරකම් කර ඇත.

එක් තැනැත්තෙක් දාහත් හැවිරිදි සිය දියණිය රෝගී වූ කාරණය සොයා බැලීම හේතුවෙන් බලධාරීන් ඉහත කී අපචාරය දැනුවත්ව ඇති බවත් වාර්තා වෙයි.

“මේ කල්ලිය හෆිසබාද් ප්‍රදේශයේ එක්තරා කාලයක් ක්‍රියාත්මක වී ඇති බවක් පේනවා” යයි ප්‍රාදේශීය පොලිස් නිලධාරියකු වන අෂ්ෆක් අහ්මෙඩ් ඛාන් (Ashfaq Ahmed Khan) බීබීසී උර්දු සේවයට පැවසීය.

ඉහත කී කල්ලියේ එක් සාමාජිකයෙක් දිස්ත්‍රික් මූලික රෝහලේ සේවකයකු ලෙස පෙනී සිටිමින්, පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුවේ මූල්‍ය ආධාර සඳහා සුදුසුකම් ලැබීමට නම් ලේ සාම්පල ලබා දියයුතු බව වංචාවට හසුවූ තැනැත්තියන්ට ප්‍රකාශ කර ඇති බවපොලිස් නිලධාරී අෂ්ෆක් අහ්මෙඩ් ඛාන් සඳහන් කරයි.

“නමුත් ලේ සාම්පල ලබා ගැනීම සඳහා රෝහලට යනවා වෙනුවට, කල්ලියේ කාන්තා සාමාජිකාවකගේ නිවසකට ගෙන ගොස්, සුෂුම්නා තරල සාරය ලබාගෙන තිබෙනවා” අෂ්ෆක් අහ්මෙඩ් ඛාන් තවදුරටත් ප්‍රකාශ කළේය.

කල්ලියේ කාන්තා සාමාජිකාවකගේ නිවසකට ගෙනගොස් මෙසේ සුෂුම්නා තරල සාරය ලබාගෙනGETTY IMAGES
කල්ලියේ කාන්තා සාමාජිකාවකගේ නිවසකට ගෙනගොස් මෙසේ සුෂුම්නා තරල සාරය ලබාගෙන

සුෂුම්නා තරල සාරය, මොලය සහ සුෂුම්නාව ආශ්‍රිතව හමුවන අවර්ණ දියරයකි. කම්පනයකදී හෝ අනතුරකදී එම ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීමට තරල සාරය උපකාරී වෙයි. සුෂුම්නා කපාටයක් තුලට එන්නත් කටුවක් ඇතුලත් කිරීම මගින් තරල සාරය ලබාගත හැකි අතර, පුද්ගල රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා පමණක් දැනට එවැනි සැත්කම් කරනු ලැබේ.

නීති වීරෝධී වෙළඳපොළේදී මෙම තරල සාරය කෙසේ අලෙවි කළේදැයි පැහැදිළි නැත.

සැකකරුවන් පොලිස් අත් අඩංගුවේ පසුවෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇත.

පාකිස්තානය තුළ සෞඛ්‍යය හා සම්බන්ධ වූ වංචා මුල් සිරස්තලය බවට පත් ප්‍රථම අවස්තාව මෙය නොවේ. 2016 දී රාවල්පින්ඩි නගරයේ දී ශරීර අවයව ජාවාරමට සම්බන්ධ කල්ලියක් විසින් සිරකර ගෙන සිටි 24 දෙනෙක් බේරා ගැනීමට පොලීසිය සමත්විය.

පාකිස්තානය 2010 වසරේදී මිනිස් අවයව අළෙවිය තහනම් කරන ලද නමුත්, තවමත් අවයව ජාවාරම ඉහළින්ම කෙරෙන රටක් බව විශේෂඥයෝ පවසති.

බීබීසී පුවත් ඇසුරෙණි

 

Be the first to comment on "‘ස්ත්‍රීන්ගේ සුෂුම්නා තරල සාරය සොරකම් කරන’ පාකිස්තාන් කල්ලියක් අල්ලයි"

Leave a Reply

%d bloggers like this: