සිවිල් සංවිධාන ජනපති සහ අගමැති හමුවීමේ සැලැස්මක්

යහපාලන රජය බලයට ගෙනා සිවිල් සමාජ ක්‍රියාධරයන් මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ

පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද දායකයන් විසින් දෙන රතු සංඥාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමට සිවිල් සංවිධාන අවස්ථාවක් ඉල්ලා ඇති අතර එය ඉතා ඉක්මනින් ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ‘පුරවැසි බලය’ සංවිධානය පවසයි.

එම සංවිධානයේ සම කැඳවුම්කරු, කථිකාචාර්ය දඹර අමිල හිමියන් බීබීසිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සෙනසුරාදා පැවැත්වුන පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රකාශිත මහජන මතය විග්‍රහ කරන ලද්දේ 2015 ජනවාරි අටවෙනිදා දෙන ලද මහජන තීන්දුව කලට ඉටු කිරීමට යහපාලන ආණ්ඩුව අපොහොසත්වීම සම්බන්ධයෙන් දෙන ලද “නිසි පිළිතුරක්” හැටියටය.

“අපි එම පොරොන්දු ඉටු කිරීමේ වැදගත්කම එහි අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කියා තිබුණා. යහපාලන ප්‍රතිඥා ඉටු කිරීම ,රැකියා දීම සහ යෝධ සංවර්ධන ක්‍රියාමාර්ග පෙරට ගෙනයාමේ උවමනාව අපි තේරුම් ගෙන සිටියා. ඒ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හැටියට අප තුළ සහ ජනතාව අතර තිබුණ වේදනාව පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය තුළින් ප්‍රකාශයට පත්වුනා” පුරවැසි බලය සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පවසති.

කැබිනට් අනුමැතිය ලද විශේෂ අධිකරණ ක්‍රියාවට නැංවීම මගින් දූෂිතයන්ට දඬුවම් දීම වැනි මහජන අපේක්ෂාවන් ඉටුකළ යුතුව ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

මෙය මහ මැතිවරණයක් ඉල්ලා සිටීමක්- මොහාන් සමරනායකMOHAN SAMARANAYAKE
                                 මෙය මහ මැතිවරණයක් ඉල්ලා සිටීමක්- මොහාන් සමරනායක

බලයට පත් අවස්ථාවේ ආණ්ඩුව විසින් දී ඇති ප්‍රතිඥා ඉදිරි වසර දෙකක හෝ දෙක හමාරක කාලය තුළ ඉටු කරනු ලැබීමෙන් අහිමි වූ ජනතා ප්‍රසාදය යළි දිනාගත හැකි වේය යන්න දඹර අමිල හිමියන්ගේ විශ්වාසය වෙයි.

සෙනසුරාදා පැවැත්වුන පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් කැඳවීම (recall election) සඳහා පවතින ජනතා අභිලාෂය නිරූපණය කෙරෙන ජනමත විචාරණයක් වැනි යයි මාධ්‍යවේදී මොහාන් සමරනායක මේ අතර පවසයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ මාධ්‍යවේදී මොහාන් සමරනායක “2015 ජනවාරි අට වෙනිදා බලයට පත් සමස්ත යහපාලන ව්‍යාපෘතිය සෙනසුරාදා පැවැත්වුන පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය මගින් සහමුළින්ම ප්‍රතික්ෂේප කෙරුණ ” බව කියා සිටියේය.

“ජනවාරි අට වෙනිදා බලයට පත් ආණ්ඩුව විසි කරන ලද රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ඉන්ධන සහ ගෑස් මිල අඩු කිරීම හැර සිදු කළ හැම වැඩක්ම ජනතාවට හානියක් වුනා. අනර්ථයක් වුනා. ඒක දිග ලැයිස්තුවක්. යහපාලනයේ නාමයෙන් ගෙන ගියේ අර්ධ ෆැසිස්ට් පාලනයක්. එමගින් පීඩාවට පත් ජනතාව එම ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළා.”

ඉහත කී ප්‍රතිඵලය ලැබී ඇත්තේ පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් කෙරෙහි ඇති වූ ජනතා පැහැදීමට වඩා වත්මන් යහපාලන ආණ්ඩුවේ අවපාලන ප්‍රතිපත්ති නිසා බවත් මාධ්‍යවේදී මොහාන් සමරනායක පවසයි.

දඹර අමිල හිමියෝ                            GETTY IMAGES

“මේ ඡන්දයේ දී පොදු ජන පෙරමුණ සමාජ සම්මුතියකට ආවේ නැහැ. ඒත් මහජනයා තුළ මේ ආණ්ඩුවට එරෙහිව කැකෑරෙන කෝපයක් පිළිකුලක් තිබුණා. ඔවුන් එය ඊයේ ප්‍රකාශයට පත් කළා,” මාධ්‍යවේදී මොහාන් සමරනායක කියා සිටියි.

ඉදිරි මාස කීපය තුළ පළාත් සභා කීපයක මැතිවරණ පැවැත්වීමට සිදුවෙන අතර එම මැතිවරණවලින් ද ආණ්ඩුව අන්ත පරාජයක් ලබනු ඇතැයි අනාවැකි පළකළ මාධ්‍යවේදී මොහාන් සමරනායක, එවැනි අවස්ථාවක ආණ්ඩුව තවත් අර්බුදකාරී තත්වයකට පත්වනු ඇතැයි කියා සිටියේය.

බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයක දී මෙවැනි පරාජයක් ලද පළමු අත්දැකීම මෙය යයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

“මේ ආණ්ඩුව පසුගිය කාලයේ සිදු කරපු එකම වැඩේ මහබැංකු බැඳුම්කර හොරකම වසා ගැනීමට තැත් කිරීම පමණයි. රට තුළ ආර්ථික කළමනාකාරිත්වය බිඳ වැටි තිබෙනවා. දුන් පොරොන්දු ඉටු කිරීමට මෙම රජය සමත් වුණේ නැහැ. යහපාලන මූලධර්ම බිඳ වැටුණා. මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආණ්ඩුවට එරෙහි මහජන විරෝධයේ පිළිබිඹුවක්” රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේය.

රජිත් කීර්ති තෙන්නකෝන් (මැද)
                                          රජිත් කීර්ති තෙන්නකෝන් (මැද)

රටේ ආර්ථික ඝාතක වැඩ පිළිවෙල ක්‍රියාවට නංවන ලද්දේ අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් බව ඔහුගේ තක්සේරුව වෙයි.

අගමැතිවරයාගේ ගජ මිතුරන් විසින් ගෙන යන ආර්ථික වැඩ පිළිවෙළ නිසා රට අගාධයට පත් වෙමින් ඇති බවට ඔහු අනතුරු ඇඟවීමක් ද කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ රජිත් කීර්ති තෙන්නකෝන් අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එල්ල කරන විවේචනය සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැන ගැනීමට බීබීසිය එම පක්ෂයේ නායකයන් කීපදෙනකුටම කතා කරන ලද නමුත් ඔවුන් සම්බන්ධ කර ගැනීම අසීරු විය.

බීබීසී පුවත් ඇසුරෙණි

Be the first to comment on "සිවිල් සංවිධාන ජනපති සහ අගමැති හමුවීමේ සැලැස්මක්"

Leave a Reply

%d bloggers like this: