සුවැති දිවියකට දියවැඩියාව පාලනය කරමු

අමල් උඩවත්ත

අලියෙකුට  වුවත් දිය වැඩියාව හැදුනොත් වැහැරෙනවාමයි. මෙය  ශ්‍රී ලාංකික වැසියන් අතර තිබෙන පැරණි ජනවහරකි. මෙයින් අදහස් කෙරෙන්නේ කුමක්ද? දිය වැඩියාව වැළඳුණු ඕනැම කෙනෙකු වැහැරී දුර්වල තත්ත්වයට පත්වෙනවා  යන අදහස මෙයින් ප්‍රකට වෙයි. එසේ නම් දියවැඩියාව  යනු දරුණු රෝගයක්ද? එසේත් නොමැතිනම්  මෙම රෝගය  පිළිබඳව නොසැලකිලිමත් වීමෙන් වඩාත් භයානක තත්ත්ව උදාවනවාද  යන්න  පිළිබඳව විමසීමක් කළ යුතුව ඇත.

දිය වැඩියාව යනු ප්‍රධාන බෝ නොවන රෝග වලින් හතරෙන් එකකි.  ඕනෑම  පුද්ගලයකුගේ රුධිරයේ කිසියම්  තිබෙන සීනී  ප්‍රමාණයක් ඇති බැව් අපි දනිමු. මෙම සීනි මට්ටම  අසාමාන්‍ය ලෙස ඉහළ යාම දිය වැඩියාව යනුවෙන් හැඳින්වෙයි.  නිරෝගී පුද්ගලයකු පැය 10ක් නිරාහාරව සිටීමෙන්  පසු රුධිරය පරීක්ෂා කළ විට  එම රුධිර නියැදියේ සීනි, ඩෙසි ලීටරයට මිලි ග්‍රැම් 60 ත් 100 (60-100 mg/dl ) ත් අතර  ප්‍රමාණයක් තිබිමත් හා ආහාර ගෙන පැය 2 කට පසු රුධිර නියැදියක් පරීක්ෂා කිරීමේදී එම රුධිර නියැදියේ සීනී, ඩෙසි ලීටරයට මිලි ග්‍රැම් 80 ත් 140 (80-140 mg/dl )  ත් අතර  ප්‍රමාණයක්   තිබීම  සාමාන්‍ය අගයක් ලෙස පිළිගැනේ.

දිය වැඩියාවේ ලෝක තත්ත්වය පිළිබඳ වාර්ථා විමසීමේදී පෙනීයන්නේ වසර 1980 දී  දියවැඩියාව වැළඳුණු වැඩිහිටියන්ගේ සංඛ්‍යාව මිලියන 108 ක් වූ අතර එය වසර 2014 වනවිට මිලියන  422 ක් දක්වා හතර ගුණයකින් ඉහළ  ගොස් තිබීම  ලොව පුරා දිය වැඩියා රෝගීන්ගේ  වර්ධනයක් පෙන්වන්නකි. මෙම සංඛ්‍යා ලේඛන වලට අනුව මෙම දිය වැඩියා රෝගීන් ගෙන් සියයට 80 (80%) ක ප්‍රතිශතයක්  මධ්‍යම සහ පහළ ආදායම ලබන රටවල විසීම මෙම රෝගය දරීද්‍රතාව පසුබිම් කර ව්‍යාප්තවන්නක් බැව් පැහැදිලිය. වසර 2012 දී  රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීම නිසා මිය ගිය සංඛ්‍යාව  මිලියන 3.7 ක් විය.  මෙයින් මිලියන 1.5ක් උග්‍ර  දියවැඩියාව නිසා ඇතිවූ මරණ වලට අයත් විය.

ලොවේ සිදුවන ස්ත්‍රී  සහ පුරුෂ මරණ  කාරක හෙවත් ස්ත්‍රී  පුරුෂ මරන වලට හේතු අතරින් 8 වන මරණ කාරකය හෙවත් හේතුව ලෙස  වසර 2012 දී හඳුනාගෙන ඇත. ස්ත්‍රීන් අතර සිදුවන ප්‍රධාන මරණ කාරක අතරින් 5 වන මරණ කාරකය වන්නේ දිය වැඩියාව ලෙස ද හඳුනාගෙන ඇත. දියවැඩියා සායන සඳහා  වන සමස්ථ ලෝක වියදම ඇමරිකානු ඩොලර් බිලියන 612 කි. මෙය සමස්ථ ලෝක සෞඛ්‍ය වියදමෙන්  සියයට 11ක් බැව් අනාවරණය වීඇත.

ලබා ගන්නා පිෂ්ට ප්‍රමාණය ගැන සැළකිලිමත් වියයුතු අතර සැම දිනක එකම් ප්‍රමාණයකින් ගත යුතුය.  එක ආහාර වේලකට අධික  පිෂ්ටය ප්‍රමාණයක් ගැනීමෙන් වැළකිය යුතුය. වසර 2010 සිට  වසර 2030 අතර කාල පරිච්ඡේදයේ  දිය වැඩියාව නිසා ලෝකයට අහිමි වන  දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

 දිය වැඩියා තත්ත්වය

අග්නිදිග ආසියානු කලාපයේ  සාමාජික රටවල් 11 ක  වසර 2014 දී දියවැඩියාව වැළඳුණු වැඩිහිටියන්ගේ සංඛ්‍යාව මීලියන 96 ක් බැව් වර්තා විය. වසර 2012  දී  අග්නිදිග  ආසියානු  කලාපයේ අධික ලෙස රුධිරයේ  ග්ලුකෝස් වැඩිවීම නිසා  මියගිය වැඩිහිටියන්ගේ සංඛ්‍යාව මිලියනයකි.  මෙම මරණ  වලට දියවැඩියා මූර්ජාව , දිය වැඩියාව හේතුවෙන් හටගත් සංකුලතා , වකුගඩු අක්‍රියවීම, හෘද රෝග සහ ක්ෂය රෝගය යනාදිය හේතුවූ බැව්  වාර්තා වෙයි.  අග්නිදිග ආසියානු කලාපයේ දිය වැඩියාව වැළඳුණු පිරිමින් ගේ  ප්‍රතිශතය සියයට 60(60%) වන අතර කාන්තාවන්ගේ   ප්‍රතිශතය සියයට 40(40%) කි. මොවුන්  සියල්ලම වයස අවුරුදු 70  ඉක්ම වීමට පෙර මියයන්නන් බැව්ද අනාවරණය වී ඇත

ජානමය වශයෙන් ගත් කළ අග්නිදිග  ආසියානු කලාපයේ  වෙසෙන ජනයා දියවැඩියා කාරක  පරිසරයක් තුළ වඩාත් වේගවත්ව ගොදුරුවන බැවින්  ඒ සඳහා වයස, තරබාරු බව සහ ශාරීරික වශයෙන් මේදය තැන්පත් වීම  වැනි සාධක බෙහෙවින් බලපාන බැව් අනාවරණය වී ඇත.

දිය වැඩියා රෝග ලක්ෂණ

අපට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ සීනි වලිනි. රුධිරයේ තිබෙන මෙම සීනි ශරීරයේ සෑම සෛලයක් වෙතටම පරිවහනය කරයි. මෙම සීනි රුධිරයේ සිට සෛල තුළට ඇතුල්   කිරීමට ආධාර කරන්නේ ඉන්සියුලින් නම් හෝමෝනයෙනි.   සීනි අංශු සෛල තුළට ඇතුලු වන්නේ සෛල තුළ ඇති දොරටුවකින් නම්  ඉන්සියුලින් යනු එම දොරටුව විවෘත කිරීමට අවශ්‍ය  යතුර ලෙස හැඳින්විය හැක. මෙම යතුර නොමැතිවූ විට සීනි අංශු  සෛල තුළට ඇතුලු නොවන අතර  රුධිරයට එම සීනි එකතු වන බැවින් රුධිරයේ සීනි මට්ටම ක්‍රමයෙන් ඉහළ යයි.  මෙසේ සෛල වල සීනි සාන්ද්‍රණය  ඉහළ යාම  නිසා දිවා රාත්‍රී දෙකේදීම මුත්‍රා පිටවීම වැඩිවෙයි. එනම්  කෙනෙකුට සාමන්‍යයෙන්  මුත්‍රා  පිටවන  වාර ගණනට වඩා වැඩි වර ගණනක්  මුත්‍රා  පිටවෙයි.  එසේම අධික පිපාසයද ඇතිවෙයි.

සෛල වලට සීනි නොලැබීම නිසා  ශරීරයට අධික තෙහෙට්ටුව දැනීම, අප්‍රාණික බව,  නිතරම කුසගිනි ඇතිවීම, නිදිමත ගතිය  සහ ශරීරය කෙට්ටුවීම වැනි ලක්ෂණ මතු කරයි. සමහරවිට මෙම රෝග ලක්ෂණ නොමැති වුවත් දියවැඩියාව තිබිය හැකිය.   එබැවින් පවුලේ දිය වැඩියා රෝගීන් සිටීනම් රුධිර පරීක්ෂාවක කර ගැනීම අනිවාර්ය වෙයි.

දිය වැඩියා වර්ග

දැනට  දිය වැඩියා වර්ග තුනක් හඳුනා ගෙන ඇත.  පළමු වර්ගයේ දිය වැඩියාව(Type 01 Diabetes), දෙවන වර්ගයේ දිය වැඩියාව(Type 02 Diabetes) සහ තුන්වන වර්ගයේ දිය වැඩියාව  ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව යනුවෙන් මෙම දියවැඩියා වර්ග හැඳින්වෙයි.

පළමු වර්ගයේ  දියවැඩියාව

මෙහිදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින්  නිපදවීම අඩුවීමක් හෝ කිසිසේත් නිපදවීමක් නොකෙරෙයි. බොහෝවිට මෙම තත්ත්වය හටගන්නේ කුඩා දරුවන්ට සහ තරුණ අයටවීම විශේෂත්වයකි. ප්‍රතිකාරය සඳහා ඉන්සියුලින්  පිටතින් ලබාදීමක් කළයුතුවෙයි.

දෙවන වර්ගයේ  දියවැඩියාව

මෙහිදී ඉන්සියුලින් ශ්‍රාවය වුවත් ඒවා සෛල මගින් භාවිත නොකිරීම එයට හේතුවයි.  මෙම තත්ත්වය  ආහාර පාලනය මගින් හෝ ඖෂධ මගින් පාලනය කළ හැකිය. සමහරවිට පිටතින් ඉන්සියුලින් ශරීර ගත කිරීමට සිදුවනු ඇත.

ගර්භනී අවස්ථාවේදී ඇතිවන දිය වැඩියාව

මෙහිදී  එනම් ගර්භනී අවදියේදී රුධිට ගත සීනි මට්ටම වැඩිවිය හැක.  දරු ප්‍රසූතියෙන් පසුව ද රුධිරගත සීනි මට්ටම වැඩිවී තිබිය හැක. පසු කලකදී එය දිය වැඩියාව ඇතිවීමට හේතුවක් වනු ඇත.

හොඳ රුධිර සීනි පාලනයක් නිරෝගී දිවියක් ගතකිරීම සඳහා අවශ්‍යවෙයි. කිසියම් ආකාරයකින් රුධිර සීනි මට්ටම  ඉහළයාම  ශරීර ඉන්ද්‍රියයන්ට  ප්‍රබල හානි ගෙන දෙන්නක් වෙයි. සමහරවිට ඇතිවන අතුරු ආබාධ කෙටි කාලීන හෝ දිගු කාලීන හෝ විය හැකිය. මෙම දිගුකාලීන බලපෑම්  හෘදය, ස්නායු පද්ධතිය, ඇස සහ වකුගඩු යන ඉන්ද්‍රියයන්ට බෙහෙවින්  බලපානු ඇත.

ඒ අනුව හෘදයට කෙරෙන බලපෑම් වලදී   හෘදයාබාධ ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර පාද වලට සැපයෙන රුධිර ප්‍රමාණය  දුර්වල වීමද සිදුවෙයි.

ස්නායු පද්ධතිය දුර්වල වීමෙන් දෙපා හිරිවැටීම, තුවාල හට ගැනිම, අංශභාග තත්වයට පත්වීම අමතරව පාද කපා ඉවත් කිරීමට සිදුවන අවස්ථාද ඇත.

ඇස් වලට කෙරෙන බලපෑම් වලදී ඇසේ සුද ඇතිවීම සහ අන්ධභාවය ඇතිවීම විය හැකිය.

වකුගඩු වලට කෙරෙන බලපෑම් වලදී  මුත්රා ආසාදන සහ වකුගඩු ක්රියා විරහිත වීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය.   

රුධිර සීනි සාන්ද්‍රණය පාලනය නොවීමට හේතු

1) නිසි ආහාර පාලනයක් නොකිරීම

2) නියමිත ඖෂධ   නිවැරදිව නොගැනීම.

3)  නිතිපතා ශාරීරික ව්‍යායාම් නොකිරීම

4) අධික මානසික ආතතිය

5)  රෝගී තත්ත්වයේ සිටින විටදී හෝ අසාදිත මට්ටමේ සිටින විට   තම රුධිර සීනි මට්ටම පාලනය ගැන නොසැළකිලිමත් විම

ආහාර පාලනය කරන්නෙ  කෙසේද

1 )  නිවසේ සියළු දෙනාටම සරිලන  පරිදි සමබල ආහාර වේලක් සකස්කර ගැනීම, මෙම සමබල ආහාර වේලට පිෂ්ටය, ප්‍රෝටීන, මේදය, ඛ්නිජ ලවන, සහ විටමින් වර්ග අඩංගු විය යුතුය.

2) සමබල ආහාර වේලක ප්‍රධාන අංගය පිෂ්ටයයිමෙම පිෂ්ටය කෙඳි බහුල ආහාර වලින් ලබා ගත යුතුවෙයි. අහරයේ කෙඳි වැඩි ප්‍රමාණයක් තිබීම  ආහාරයේ තිබෙන පිෂ්ටය අවශොෂණය කිරීමට බාධා ගෙන අතර  කුස ගින්න දැනීමටද ප්‍රමාද කෙරේ.

කෙදි සහිත ආහාර වලට නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මුංඇට, කඩල, අයත් වෙයි එසේ වුවත් තිරිඟු පිටි වලින් සාදන ආහාර වල කෙඳි සුළු ප්‍රමාණයක් හෝ නොතිබෙන බැවින් එවා ආහාරයට සුදුසු නැතලබා ගන්නා පිෂ්ට ප්‍රමාණය ගැන සැළකිලිමත් වියයුතු අතර සැම දිනක එකම් ප්‍රමාණයක් ගත යුතුයඑක ආහාර වේලකට අධික  පිෂ්ටය ප්‍රමාණයක් ගැනීමෙන් වැළකිය යුතුය.

මේදය ලබාගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම වර්ගය ගැනද සැලකිළිමත් විය යුතුය. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස්, යොදය සහිත කිරි බටර්යනාදියෙ අඩංගු තෙල් සුදුසු නැත. සෝයා තෙල් සූරිය කාන්ත තෙල් එළවළු තෙල් පොල්තෙල් යනාදිය අඩුවෙන් භාවිත කළ යුතුය

ප්‍රෝටීන ප්‍රමාණවත්ව ගැනිම අත්‍යාවශ්‍ය වන අතර  එම අවශ්‍යතාව  මුං ඇට, කඩල, කව්පීපරිප්පු, මාළු සහ  සම ඉවත් කළ කුකුල් මස් වලින් සපයයි.

 නියමිත වේලාවට ආහාර ගැනීමත්  නොවරදවා කළ යුතු දෙයකි.

 ආහාරයට පසු අතුරු පස සඳහා  පළතුරු, පැණි හා සීනි රහිතව මුදවපු කිරි, ගැනීම වඩාත්   යෝග්‍ය වුවත්   අයිස්ක්‍රීම් චොකලට්, පුඩිං වටලප්පන් වැනි දේ අතුරු පස ලෙස ගැනීම නුසුදුසුය.

තරබාරු ශරීරයක් ඇත්නම්  බර අඩු කර ගැනීමට උනන්දු විය යුතු අතර  අධික කැලරි සහිත ආහාර ගැනීම ද අඩු කළ යුතුයලුණු භාවිතයද බෙහෙවින් අඩු කළ යුතුය.   

නිරතුරුවම ව්‍යායාම් වල නියලීම   නීරෝගී බව රැක ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.

 (සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ   දිය වැඩියාව පිළිබඳව පැවති සම්මන්ත්‍රණයේ  දේශන ඇසුරෙන් සකස් කෙරිණි.)                  

 

 

%d bloggers like this: